Pages

Friday 17 October 2014

ප්‍රේමකීර්ති නැවත කියවමු


අපේ සිත්වල ස්වභාවයත් හරියට අහස වගේ. මේ ලස්සනට දීප්තිමත්ව නිල්පාටින් බැබළෙමින් හිරැත් එක්කලා සිනහවෙමින් ඉන්න අහසමයි ඊළඟ නිමේෂයේ මහා බියකරැ වැහි වලාකුළු මවලා ඉර මුවා කරලා පළාතම අඳුරැ කරන්නේ.

ඒ වගේ තමයි සමහර දිනක සතුටින් පිරිලා තියෙන අපේ හිත ඊළඟ මොහොතේ එහෙමත් නැතිනම් ඊළඟ දවසේ මහා මොකක්දෝ පාළුවක්,තනිකමක් හෝ දුකකින් වෙළෙන්නේ. සමහර වෙලාවට අපට එයට හේතුවක් හෝ එය ඇතිවූ වෙලාවක් හෝ සොයා ගන්න බැරිවෙනවා.

පහුගිය දිනකිහිපයේ මගේ සිතත් මොකක්දෝ පාළුවකින් හා දුකකින් වෙලී ඇතිබව මට හැඟුණා. මගේ බිරිඳ හා දරැවෝ ලස්සනට පායපු ඉර වගේ මගේ සිත් අහස ලස්සන කළා. ඒත් ඒ ඉර පායලා තියෙද්දිම කොහෙන්දෝ පාත්වූ වැහි වලාවක් මගේ සිත අඳුරැ කළා.

මම දස අතේ කල්පනා කළත් මෙයට හේතුව නම් සිතේ අහලකටවත් ආවේ නෑ. ඒත් අන්තිමේදි සිතට වඳ දුන් ඒ හේතුව අහම්බෙන් වගේ මගේ සිහියට නැගුණා.

ඒ තමයි පහුගිය දවස් ටිකේම කියවලා ඊයේ අහවර කළ පොත. ඒ මම බොහෝම ආදරය කළ දැනටත් ඒ ලෙසම ආදරය කරන සංවේදී කලා කරැවකුගේ චරිතාපදානය. ඒ වෙන කවුරැවත් නොවේ රටක් ආදරය කළ රටක් තම හැකියාවෙන් සැනැහූ රටේම අභාග්යයට අපට අහිමි කළ ප්රේමකීර්ති ද අල්විස් සූරීන්.

පොතේ නම "සසර සැරිසරන තෙක් ප්රේමකීර්ති නැවත කියවමු"

ගීතනාත් කුඩලිගමයන් විසින් සම්පාදිත මෙම කෘතිය මගේ සිතට මෙතරම් පෙරළියක් කරතැයි මම කිසිවිටෙකවත් සිතා නොසිටියෙමි.

පොත කියවා ආතුරවූ මගේ සිතේ ඇතිවූ පීඩනය ලිහිල් කරගෙන යම් සැනසීමක් ලැබීමට මේ සටහන අකුරැ කරනවා විනා මගේ හැගීම් නතර කිරීමට මේ පොත සමත්විය. ඇතිවූ හැගීම දුකක්ද, පසුතැවීමක්ද ඊටත් වඩා වෙනයම් හැගීමක්ද යනවග පසක් කරගැනුමට මම මේ මොහොතේදීත් වෙහෙසෙමි.

මම මෙලෙස පටන් ගන්නම්. සුභාවිත ගීතයට ළැඳි මගේ මස්සිනාලා හෝ වෙනත් යහළුවකු සමඟ මධුවිතින් සැනැහුණු එකදු සැන්දෑවක් හෝ එතුමා ගැන කථාවකින්,ගුණ වැයුමකින් හෝ නැතිවූ පාඩුව ගැන දුක්වීමකින් තොරව ගෙවුණා යැයි මට සැක සහිතය. අප එතරම්ම එතුමන්ගේ ගීත සාහිත්යට හා සංනිවේදන කලාවට ප්රිය කළෙමු.

එතුමා පිළිබඳ අතන මෙතන තිබූ විස්තරත් එතුමා සමඟ වැඩකළ හා සමීපව ඇසුරැ කළ වික්ටර් රත්නායකයන් වැනි කලා කරැවන් කළ ප්රකාශත් හැරැනු කොට එතුමා ගැන පැහැදිලි සම්පූර්ණ විස්තරයක් මා මෙතුවක් කලකට කියවා නොතිබිණි. ඒ විස්තර දැනගැනීමේ දොළදුකකින් මා බොහෝ කලක් තැවුණෙමි.

එතුමා කුරිරැ ලෙස ඝාතනය කොට විසිපස් වසක් සපිරි පසුගිය ඇසළ මාසයේ එතුමා පිළිබඳ මේ පොත නිකුත් විය.

එතුමා පිළිබඳ බොහෝදේ මේ පොතෙහි අඩංගුය. උපතේ පටන් ඝාතනය දක්වා කළ කී දෑ, ඇසුරැ කළ අය බිරින්දෑ හා දරැවන් ගැන මෙහි සම්පූර්ණයෙන්ම විස්තර කොට ඇත.

එතුමාගේ පළමු බිරිඳවූ දයා ද අල්විස් මහත්මියගේ සටහන් මගේ හදවත නතර කිරීමට සමත් විය. ඉතාමත් සංවේදීව හා අවංකව පෙළ ගස්සවා තිබූ ඇයගේ සටහන් කියැවූ මට මහත් දුකක් ඇතිවිය.

මෙතරම් සංවේදී මිනිසෙකුට මෙවැනි ආදරණීය දෑ ලියූ මිනිසෙකුට මෙසේ වෙනස් විය හැකිද? මෙසේ හැසිරිය හැකිද? වරක් ඔහු ඇය හා තමන්ගේ ලෙයින් හැඳුණු අසනීපයෙන් සිටි දුවව රාත්රියේ ගෙදරින් එළියට දමා දොර වැසීමට තරම් සාහසික විය.

එය කෙසේ නම් සිදුවිය හැකිද? දයා මහත්මියම පවසන ආකාරයට ඒ හැසිරී තිබුණේ ඔහු නොවේ ඔහු තුළ ක්රියාත්මකවූ මත් පැන් රකුසාය. මට මහා කණගාටුවක් දැනිණි. ලොවක් සැනහූ දැයක් නැලැවූ ඔහුගේ කුටුම්බය ගිනි ගොඩක් වූ හැටි?

මෙය කර්මය හෝ ලබා උපන් හැටියැයි කියා අපට හිත හදාගත හැකිද? ඔළුවට මහා බරකි.

ඇයට අසීමිතව ආදරය කළ ඔහු විසින්ම ඇයව සැක කරන ලදී. බහින්බස්වීම් හා අඩදබර දෙදෙනා වෙන්වන තැනටම වැඩ සිද්ධ කරන ලදී. ඒ සඳහා උල්පන්දම් දුන් හා ඔවුන්ගේ විනාශය පැතූ බොහෝ දෙනෙකු එවිට සතුටුවන්නට ඇත.

මොනදේ සිදුවූවත් දයා ද අල්විස් මහත්මිය ප්රේමකීර්තීන් පිළිබඳ අඹමල් රේණුවක තරමින්වත් අහිතකින් හෝ තරහකින් සිටින බවක් මේ සටහන් වලින් නොපෙනුණි. ඒත් මේ සිදුවීම් නිසා මා සිත ඇතිවූ කනගාටුව පහව නොගියේ මා එතුමාට අවංකවම ප්රිය කළ නිසායැයි මට හැගේ.

ඉන්පසුව එතුමා විවාහ වූ නිර්මලා ද අල්විස් මහත්මියගේ සටහන්ද පළමු විවාහයේ දියණිය සුරංගී හා දෙවැනි විවාහයේ පුතුගේ සටහන්ද මගේ දුක හා පසුතැවිල්ල වැඩි කළා මිස අඩු නොකෙරැණි.

එතුමාගේ ගුරැවරැ,මිතුරන් හා එකට වැඩ කළ කලා කරැවන්ද පැවසුවේ එතුමාගේ මානුෂික ගුණ හා තිබුණු අසාමාන්ය හැකියාව ගැනය.

ඔවුන් සැවොම කියන්නාක් මෙන් එතුමා වයස අවුරැදු 42 වැනි අඩු වයසකින් වියෝ වූවත් වයස 84කදී පවා යමෙකුට කල නොහැකි සේවාවක් කලාවට කල බැව් මගේද හැගීමයි.

මේ පොත කියවන තුරැම සැමවිටම මම එතුමාගේ අකල් වියෝව පිළිබඳව දුක් වුණෙමි. දැන් හිටියානම් තව තව කෙතරම් නම් නිර්මාණ ගොන්නක් කල හැකිව තිබුණාදැයි සිතුවෙමි. ඒත් මම දැන් එසේ නොසිතමි. එතුමා කල්ප කාලාන්තරයක් තිස්සේ පෙරැම් පුරමින් එක්රැස් කළ දැනුම් සම්භාරය අපට දී අවසානය. එතුමා මේ ලෝකයට පැමිණි කාරණය ඉෂ්ට කොට අවසානයේ මේ ලොවින් නික්ම ගියේය. මා දැන් මෙසේ සිතා සැනසෙමි.

ඒත් එවැනි සමාජයට වැඩදායී පුද්ගලයන්ගේ ජීවිත මෙසේ විනාශවූයේ ඇයි හා ඔවුන්ගේ පවුල් දිවිය අවුල්වූයේ ඇයි යන ප්රශ්න මගේ සිතේ දෝංකාර දෙමින් මා සිත කම්පනය කිරීමනම් තවමත් අඩුවී නොමැත.

අවසානයේ මම මෙසේ කියමි...

දයාබර ප්රේම් ඉක්මනින්ම නිවන් නොදැක නැවත අප අතර ඉපදී අප සනසවනු මැනවි....!

එහෙත් මෙය මහා ආත්මාර්ථකාමී පැතුමක් බව මම දනිමි. එහෙත් මගේ හිත හදා ගැනුමට වෙන විකල්පයක් නැත. කල හැකි වෙන දෙයක් නැත.

ඔබත් ඉඩක් ලදවිට මේ පොත කියවන්න. එය අපගේ දයබර ප්රේම්ට කරන්නාවූ උපහාරයක්ම වේවි.


28 comments:

  1. ප්‍රේමකීර්ති ද අල්විස් නැමති විශ්වීය කලාකරුවා පිළිබඳ ලියැවුණු ඕනෑම සටහනක් මම මහත් අභිරුචියකින් කියවන්නෙමි. එලෙස කියවූ සියගනනක් ලිපි අතර ඔබේ සටහන මට බෙහෙවින්ම සොඳුරුව දැණුනා. සිත සංවේගයෙන්, සංවේදනාවෙන් පිරෙව්වා. මේ සුන්දර මිනිසා මරා දැමූ පිසාචයා අද යෙහෙන් වැජඹෙමින් සිටී. නීතිය වල් වැදුනු කාලකණ්නිම යුගයක, ජවිපෙ නාමෙන් ජවිපෙ පාවා දී සිදුකල අනන්තවූ පුද්ගලික කෝන්තරයන් වල ඝාතනයක් වූ මෙය සිදුකල තිරිසනා අද නිර්ලජ්ජිතව තම ආත්මයට වංචා කරගනිමින් සිටී. ජනාධිපතිගේ ඔඩොක්කුවේ කුක්කෙකු ලෙස සිටින මොහුටත්, ජනාධිපතිටත් නිර්මලා ද අල්විස් කදිම පිළිතුරක් පසුගිය දා ලබා දුන්නාය.

    ReplyDelete
    Replies
    1. ඔබ මා ගැන කළ ඇගැයීමට බොහොමත්ම ස්තූතියි. එය මට ලොකු දහිරියක්.

      ඔබ කිව්වා සේ මේ අපරාධය කළ ඒ අමනයින් නිදහසේ සිටීම නම් හරිම පාපයක්. ඒත් ඒ ලේ පිපාසිත අධම යුගයේ කළ අපරාධනම් කොතෙක්ද? ඔළුව කුඩුවෙන්නට වෙඩි තැබීම හිසේ සිටින උකුණකු පොඩිකරන තරමට සිල්ලරවූ කාලයක නීතිය ගැන කුමන කතාද? අපි මහා අවාසනාවන්තයෝ වීමු. මේ අධමයින් දිනෙක නීතියෙන් නැතිනම් ස්වාභාව ධර්මයෙන් හෝ දඬුවම් විඳීවි. අප එතකම් බලා සිටිමු. ඒත් අපට ප්‍රේම් නැවත ලැබිය හැකිද? මහා හිස් බවකි.....

      Delete
  2. පොත් ඔත්තුවට තුති... හොයාගන කියවන්න ඕන
    අපූරු හෘදයාංගම සටහනක්...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ් රත්නායක සොයුර! පොත් සාප්පුවල තවම ඇති. කියවන්න. බොහොම වටිනවා. මම නිර්මලා ද අල්විස් මහත්මිය ලියූ ප්‍රේමකීර්තිණී පොත හෙව්වා මිළට ගන්නට. තිබුනෙ නෑ...

      Delete
    2. http://www.sarasavi.lk/Book/Prema-Keerthi-9789555183307

      Delete
  3. ප්‍රසිද්ධ සහ සමාජයේ පිළිගත් පුද්ගලයන් බොහොමයක් තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔවුන් තුලින් අප දකින ප්‍රතිරූපයම ඔවුන්ගේ පුද්ගලික් චරිතය හා සමපාත් විය යුතු යයි කියාය . නමුත් බොහෝ විට ඒ සියල්ල ඉන් බොහෝ සෙයින් වෙනස් වන්නේ අපට සිතාගත් නොහැකි පරිදිය .

    ReplyDelete
    Replies
    1. නිර්මාණ කරුවෝත් ප්‍රථුග්ජන මනුෂ්‍යයෝය..

      ඔවුන්ගේ පුද්ගලික ජීවිතයට එබී නොබලා නිර්මාණ ජීවිතයට එබී බැලුවාම ප්‍රශ්නයක් නෑ.

      Delete
    2. එහෙම වුනනාම් ප්‍රශ්නයක් නෑ. එත් පාඨකයෝ , රසිකයෝ කියන්නෙත් පෘථග්ජන මිනිස්සු. එයාලා අර සාධුචරිත වලින් සැබෑ ජීවිතයේදීත් ඒ හැසිරීම බලාපොරොත්තු වෙනවා, නැත්තම් මිනිස්සු හිතන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලා . ප්‍රායෝගිකව ඔය කියන නිර්මාණ දිහා විතරක් බලන්න කියලා කියන්න අමාරුයි. තමන්ගේ ගෑනිටයි ,ලනයටයි ගහලා එලියට දාන මිනිහෙක් ආදරය ,කරුණාව ගැන දේශනා කලාම නිකං මටනම් පෙන්නේ හොඳටම බීලා බීමේ ආදීනව ගැන බණ කියනවා වගේ .(ප්‍රේමකීර්ති ගැන නොවේ )

      Delete
    3. මමත් පවුලූෂා මලයා සමඟ බොහෝදුරට එකඟ වෙනවා. අපි එතුමාට අසීමිතව ආදරය කළා. ඒ පුද්ගලිතව දැන හඳුන ගෙන නොවෙයි. එතුමාගේ නිර්මාණ හා නිවේදක කලාව තුලින්. සැබෑ නිර්මාණකරැවා හා ඔහුගේ නිර්මාණ අතර වෙනසක් නෑ. ඒවා ඔහු හෝ ඇයගේ ආත්මයයි. ඒකයි අපි ඒ චරිතයම සැබෑ දිවියෙත් ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නේ.

      මෙතන මහා ඛේදවාචකයක් ,නොගැලපීමක් හා අවාසනාවක් තිබුනේ. දයා ද අල්විස් කියන්නේ නොංජල් ගැහැණියක නොවේ. ඇය තවමත් ප්‍රේම්ට ආදරය කරන බව ඇගේ සටහන් වලින් පෙනෙනවා.

      එසේ වෙනස්වූ හා හැසිරැණු ප්‍රේම්ම නිර්මලා ද අල්විස් සමඟ හොඳින් පවුල් කනවා.

      ඉතිං පළමු විවාහයේදී මොකක්ද ඔහුට වුනේ. ඒ අතරම ඒ පළමු විවාහයේ කාලය ඔහුගේ නිර්මාණ දිවියේ නම් ස්වර්ණම යුගය කියලා විචාරකයෝ හඳුන්වනවා...

      Delete
    4. සමහරවිටක අපට නුරුස්නා කෙනෙකු තව කෙනෙකුට හොඳ වන්නට පුළුවන්..ඒ වාගේ දෙයක් නිසා එහෙම අවාසනාවන්ත අත්දැකීමක් ලැබුවාද දන්නේ නෑ.මොනාවුණත් දයා ද අල්විස් මහත්මිය සහ සුරංගී ගැන විශාල කණගාටුවක් දැනෙනවා..ඔහු විශිෂ්ට ගණයේ කලාකරුවෙක් වුණත් ඔවුන්ට සිදුවෙලා තිබෙන අසාධාරණය ගැන ලොකු කම්පාවක් දැනෙනවා..එතකොට දැන් ඔබට දැනෙනවා වාගේම මොකද්දෝ මහ හිස් ගතියක් හිතට එනවා..

      Delete
  4. එක මොහොතක් අප සෙවනේ නොරැඳි
    තනිතරු වේ ඇයිද...
    ඒදා රාත්‍රියේ
    ඈත රන් විමන් සොයා
    කතරක අප තනිකර
    නික්ම ගියේ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත රාජ් කෙතරම් නම් ගීත සමුදායක් එතුමා අපට දායාද කළාද? ඒ සමහර ගීත තැනක් නොතැනක් හෝ වෙලාවක් අවේලාවක් නොමැතිව හදිසියේ ලියූවත් ඒවායේ තිබු ගුණය කෙතරම්ද යනවග ඒ ගීතවලට සවන්දීමේදී අපට වැටහෙනවා.

      Delete
  5. ප්‍රේම් ඉතා හොඳ මනුස්සයෙක් සත්තකින්ම.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අරෑ! ඒත් ඒ හොඳ කුසලතා පිරි මිනිසුන්ම ඇයි අපට ඉක්මනින්ම අහිමි වෙන්නේ??

      Delete
  6. ආදර ගීයේ තනුව ඔබ යි
    රස ගැන් වුණ වෙන මිහිර ඔබ යි....................


    මිහිරාවී..ලොව ගී රජ දහනේ නැලවෙමූ..
    මා මිහිරේ....ඔබ පා සෙවනේ ගී ගයනෙමි..
    ජීවනයේ මිහිර සොයා ඉගිලෙමු පියා සල සලා...

    ආදර ගීයේ තනුව ඔබ යි
    රස ගැන් වුණ වෙන මිහිර ඔබ යි...
    මා දුටු ශ්‍රීයාව මිහිරාව ගීතාව ඔබ ම තමා

    ගී රස ගංගා දෙගොඩ තලා
    ඇදෙමින් යන්නේ ඔබ ව බලා....
    මා දුටු ශ්‍රීයාව මිහිරාව ගීතාව ඔබ ම තමා..,

    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව හා සංගීතය: සනත් නන්දසිරි
    යුග ගායනය: මල්කාන්ති නන්දසිරි සහ සනත් නන්දසිරි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට මේ ගීතය අප හා බෙදා හදා ගත්තට!ජය!

      Delete
  7. ප්‍රේම්කීර්ති ලියපු නවකතාවක් තියනව "අන්තිමයා" කියල.පුලුවන්නම් හොයාගන කියවන්න."තුන්මන් හන්දිය" කියෙවුව වගේ හැගිමක් එයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිමුතු. මම ඒ පොත ගැන දැනගෙන හිටියේ නෑ. හොයාගෙන කියවන්න ඕනේ.

      Delete
  8. මමත් කැමති පුද්ගලයෙක් ප්‍රේමකීර්ති. නමුත් බීවාම පාලනයකින් තොර බව දැනගත්තට පස්සෙත් දිගින් දිගටම පෙර පරිදිම බීම නම් එච්චර හොඳ වැඩක් නෙවෙයි. අනික බිව්වාම මානව දයාව උතුරා පිටාර ගලන පොරවලුත් ඔය ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක අසහාය පුවත්පත් කලා වේදී ප්‍රවීණ ජනමාධ්‍යෙව්දී.. නීලකාන්ති සිරිමිහින් බැලුමැති දිනමිණ පු.ක.. නලින් දිල්රුක්ෂ මැතිතුමා අරභයා ප්‍රකාශ කල අදහසක්ද හෙන්රිය??

      Delete
  9. අනිවාර්යෙන්ම මේ පොත කියවනව..

    ReplyDelete
  10. චන්දනගේ ලියැවිලි ගැන ආයේ ඉතින් උවම් මොටද?
    පොත ගැන හරියටම දැනගන්න ලැබුණා - බොහොම ස්තූතියි - එය කියවන්න ආසාවක් ඔබ ඇතිකලා!

    [මේවට වෙලාව සොයාගන්න හැටිත් අපට කියාදෙන්න :-) - ඔබ සෑම තැනකම දකිනව මම දැන් ඒකයි]

    ReplyDelete
  11. ප්‍රේමකීර්ති.......................

    ඔහු නිර්මාණාත්මක ගීත රචකයෙක් බව අවිවාදිතය.. එසේම ප්‍රේම් නම් මිනිසා මනුෂ්‍යත්වය උපරිමයෙන් තිබූ සිතක් ඇත්තෙකු බව ද අවිවාදිතය.. එබැවින් ඔහු අතින් නිමැවුණු නිර්මාණයන් ද ඉතා අගනා සහ වටිනා බව නොකිවමනාය.... මනුෂ්‍යත්වය පිරි සිතක් ඇති නිර්මාණකරුවෙක් වනාහී එහි පරතෙර ස්පර්ශ කරන්නා වූ අයෙකු බව සත්‍යයකි...

    ReplyDelete
  12. හැම මිනිහම එහෙමයි ටිකක් ඇරෙන්න.. මම කිව්වේ සැබෑ ජීවිතය ගැන.

    ReplyDelete
  13. ප්‍රේමකීර්ති කියන්නෙ මම ඉතාමත් ආශා කරන ගීත රචකයා...නමුත් අපේ කරුමෙට මේ චරිත අපට ආශ්‍රය කරන්න ලැබුනෙ නෑ. මෙන්න මේ ලිංකුවෙන් ගියොත් ප්‍රේමකීර්ති ගැන අහලා නැති බොහෝ දේ දැන ගන්න පුලුවන්.
    http://www.youtube.com/watch?v=KM_PlKcQj2g&feature=share

    ReplyDelete
  14. ස්තූතියි තොරතුරට .. මමත් ආසම කරන චරිතයක්..

    ReplyDelete
  15. දයා ද අල්විස් මහත්මිය ලියූ සටහන් පෙළක් මාත් කියවා තිබෙනවා..මටත් අදහාගන්නට බැරිවූ දෙයක්..අපි හැමදෙනා තුළම සැඟවුනු රකුසනුත් සිටිනවා චන්දන අයියේ..මම ඒ කම්පනයෙන් මිදෙන්න උත්සහ කළේ එහෙම හිතලයි...ටික කලකට කලින් කුසුමාංජලීත් ලියා තිබුණා...ඒ සටහන කියවද්දි නෙතට කඳුළක් නැගුණා...http://pahasaranee.blogspot.com/2014/07/blog-post_31.html

    ReplyDelete
  16. මේ පොත හොයා ගන්න විදියක් නැහැනේ..
    හැම තැනම out-of-stock

    ReplyDelete