Pages

Monday 1 September 2014

තිලක සිත කියැවූයෙමි.....

පහුගිය සතියේ බ්රහස්පතින්දා හැන්දෑවේ වැඩ අහවරවී ගෙට ගොඩවූ මට දැකගත හැකිවූයේ මේසය මත මගේ නමට වූ පාර්සලයකි.


මේ රටේදී ලැබෙන ලියුමක් කවුරැත් කඩන්නේ හිත යට සැඟැවුණු දෙගිඩියාවකුත් සමගය. එයට හේතුව නම් බොහෝවිට තැපෑලෙන් එන්නේ බිලක් හෝ යම්කිසි වාහනය පැදවීමේ අඩුපාඩුවකට පොලීසියෙන් එන දඩකොලයක් දෝයි සිතෙන බැවිනි.


මමත් මේ මොන මරාලයක්දෝයි සිතමින් කවරය අරින්නට පටන් ගතිමි. ලියුම් කවර කිහිපයක බහා ඉතාමත් පරිස්සමින් සකසුරැවම් ලෙස ඔතා තිබූ එහි අවසාන කවරය විවෘත කිරීමේදී සෙනෙහෙබර මිතුරකුගේ ජීවන සුවඳක් එහි බහා තිබූ අලුත්ම පොතින් නික්මුණු අළුත් කොළ හා තීන්ත සුවඳ පරයා මගේ නාස්තුළින් පෙනහලු වලටද ඉන් හදවතටද කාන්දු වී දෙනෙතේද තෙතමනයක් ඇතිකිරීමට සමත් විය.


එය තිලකේගේ නවතම හා ප්රථම කෙටිකතා සංග්රහය වූ "තිලක සිත"යි.


දවස අවසානයේ ගත රැදී මහන්සියද නොතැකූ මම අසුනකට බරවී කතා කිහිපයක්ම එක හුස්මටම කියැවූයෙමි.


මා තිලකේ නමින් හඳුවන ඔහු තිලකසිරි ඒකනායකයි. පුරා වසරක් තිස්සේ වරින් වර ඔහුගේ බ්ලොග් අඩවිය වූ "තිලක සිතේ" පළ කළ ඉතාමත්ම රසවත් කෙටි කතා 40කින්ද ඔහුගේම දියණියන් විසින් අඳිනාලද සිත් බැඳගන්නා සිතුවමින්ද පොත පිරී තිබුණි.


බොහෝ කථාවන් පිටු දෙකකට වඩා දිඟු නොවුණි. එහෙත් ඉන් කියැවුණු පණිවුඩය අපට පිටු සියයක කතාවකින්වත් ලද නොහැකි තරම් ප්රබල විය.


සෑම කතාවකින්ම වහනය වූයේ අව්යාජ ගැමි සුවඳයි. අපේ සංස්කෘතියයි. පවුල් සංස්ථාවයි.


බොහෝ කතා අවසන, අනෙක් කතාවට නෙතු හැරවීමට පෙර බොඳවූ දෑස් පිසදා ගැනීමට මට සිදු විය. සමහර කතා අවසන මට සිනහව පාලනය කර ගැනීමටද අපහසු විය.


මෙහි 24 වැනි කතාව වූ "කැස්පියන් සඳ" මාව රැසියාවේ ගම් දනව් හරහා චාරිකාවක් යැවීය. එය කෙතරම් නම් ලස්සනට තිලකේ ලියා තිබුණේද යත් මට සිතුණේ මා රැසියානු පරිවර්තනයක් කියවමින් සිටින බවකි.


ඉතාමත්ම සිත් ගන්නා ස්වරෑපයෙන් ලියා තිබූ සෑම කතාවකම අවසානය කුමක්වේදැයි අවසනට යන තුරැම පාඨකයාට තේරැම් නොයන අයුරින් ඔහු ඒ සිද්ධීන් මනාවට පෙළ ගස්වා තිබිණි. 


පාසල් කාලයෙන් පසු මා පොතක් දිනකදී කියවා නිම කල පළමු අවස්ථාව මෙය විය. 


කතා හතළිහම කියවා නිමැවීමෙන් අනතුරැව තවත් කතා තිබුණානම් හොඳ යැයි සිතිණි. කථාවෙන් කතාවට තිලකේ පිළිබඳ මසිත රැදී තිබූ මිතුරැ සුවඳ තව තවත් වැඩිවෙමින් යනු මට දැනිණි.


දයාබර තිලකේ උඹට තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට අවැසි ශක්තිය හා දහිරිය නිරතුරැවම ලැබේවා. මෙහි සිතුවම් නිර්මාණය කළ උඹේ ආදරණීය දියණියන්ටත් මගේ සුබ පැතුම්.


මා හිතාදර සොයුරැ සොයුරිය ඔබත් මේ පොත කියවා බලන්න.


8 comments:

  1. ශික් එදා අඩුවකට තිබ්බේ ඔබගේ පැමිණීම තමයි

    ReplyDelete
    Replies
    1. ඒකනේ පවුලූෂා මලේ. ලංකාවේ හිටියනම් මම එතන. උඹලා ඔක්කොම හමුවෙන්නත් තිබුණා.

      Delete
  2. අනිවාර්යෙන්ම ලැබුනොත් කියවනවා.

    ReplyDelete
    Replies
    1. කියවපං කළු මලේ. උඹ ඉන්නේ ලංකාවේ නම් පොත් හල් වල ඇති.

      Delete
  3. ම මොනවා ලියලා තිබ්බත් මට උඹේ සටහනට කොමෙන්ට් එකක් ලියා ගන්න බැරිව කී පාරක් එක එක ඒවා හිතුවද, ලිව්වද මැකුවද . මට හැඟෙන දේ කියා ගන්න 'බොහොම ස්තුතියි මචන්' කියන වචන ටික හොඳටම මදියි . මේ පොත උඹටත් අයිතියි . මේක බිහි වීම පිටිපස්සේ අවුරුදු ගානක් තිස්සේ ලැබෙන උඹේ දිරිවඩන සුළු වචන වල ශක්තියත් තියෙනවා

    ReplyDelete
  4. කවර තුන අරන් තියන්න හොදේ.. මං මේක ඊයේ බැලුවා නෙව..

    ReplyDelete
  5. සහෘදයෙක්ගෙන් ලැබෙන දිරිගැන්වෙනසුළු සටහනක වටිනාකම මම හොඳින් දන්නවා.

    ReplyDelete
  6. මමත් පොතක් ගන්න හිතාගෙන ඉන්නවා තවම බැරි වුනා.

    ReplyDelete