Pages

Tuesday, 19 August 2014

කුඩාගමේ....


කුඩා ගමේ මද්දහනේ අව් රස්නේ නිවා
හූරි කඳුපෙතේ දඩමං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළදන්නයි සොබා....

මගේ පැලට නුඹ කැන්දං පැමිණි දොහේ එදා
මල් ගෝමර පිපුණු ළමැද වසා ගනිං කියා
මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා ගියා
රිදී පොටක් කරලන්නට වරම් නැතුව ගියා.....

ආලවඩන අකුරැ පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙක සකී
ආලෙ බිඳුනදා කුමකට කඳුළු හෙළනු සකී
ආලවඩන යන තේරැම බෝසත් කම සකී......

ගේය පද:  ධර්මසිරි ගමගේ
ගායනය: සුනිල් එදිරිසිංහ
සංගීතය: වික්ටර් රත්නායක

සුනිල් එදිරිසිංහයන් විසින් "හුලවාලී" නම්වූ මනරම් සිනමා පටයට ගැයූ මේ ගීතය සවන් වැකෙන සෑම මොහොතකම මගේ සිත 1976 එක්තරා සුන්දර සැන්දෑවකට ඇදී යනවා.

දවස පුරා පෑයූ ගිනිකාෂ්ටක අව්වෙන් හෙම්බත්වූ මුළු අනුරාධපුරයම හැන්දෑයාමයේ බලබිඳී මියයමින් සිටිනා හිරැට ඔච්චම් කරන්නාක් මෙන් වැව් තල පිස හමා එන සිසිල් සුළඟින් නැවුම් සිහිලක් විඳින්නට පටන් ගන්නවා.

මේ හැන්දෑයාමයේ නැගෙණිය හා සෙල්ලම් කරමින් මිඳුලේ හුන් මා ඇමතූ අපගේ පියා චිත්රපටයක් බලන්නට යමුදැයි මගෙන් විමසා සිටියා. චිත්රපට බැලීමේ පිස්සුව එකල සිටම ඔළුවට ගසාසිටි මට එය සුරාවට ලොල්වූ අයෙකුගෙන් පොඩි අඩියක් ගහමුදැයි ඇසුවාක් මෙන් වුණා.

තප්පරයෙන් දුවිලි සෝඳා සැරසුණු මා ඊළඟ නිමේෂයේ නතරවූයේ තාත්තාගේ බයිසිකලයේ පොල්ල මතයි. මගේ සිතේ එවෙලේ ඇතිවූ කලබලය සංසිදුනේ අනුරාධපුරයේ සිත්තම්පලම් සිනමා ශාලාවේ අසුනකට බරවූ පසුවයි.

චිත්රපටයේ පසුබිම් ගීතයක් වූ මේ ගීතය එදා මුල්වරට ඇසූවෙලේ සිටම මගේ හදවත තුළ ලැගුම් ගත්තේ සංසාරේ පුරාවටම මා හා බැඳී ආ ගීතයක් වගේ.

දයා රාජපක්ෂයන්ගේ කතාවක් වූ මෙය රොඩී ජන කොටසක් වටයි ගෙතී තිබුණෙ. ඒ රැහේ නායකයා ධාරා. රැහේ බසින් නායකයට කිව්වේ රැහේ හුලවාලියා කියලා. සිනමා පටයේ නාමය " හුලවාලී" වූයේ එලෙසින්.

රැහේ හුලවාලියාට පණ දුන්නේ සිනමාවේ සක්විති ගාමිණී ෆොන්සේකා මහතා. ඔහුගේ ඇඹේණිය වූයේ අග්රගණ්ය නිලියකවූ සුවිනීතා කෝන්ගහගේ මහත්මියයි.

රැහේ හුලවාලියාවූ ධාරා ජීවත්වූයේ කැලයේ දඩයමේ ගොස් සපයා ගන්නා දඩමස්, සතුන්ගේ පදම් කළ හම් හා මීපැණි ගමට එන යන වෙළෙන්දාට විකිණීමෙනි. වෙළෙන්දා ලෙස රඟපෑවේ ටෝනි රණසිංහයන්ය. 

මේ එන යන අතරතුර ධාරාගේ බිරිඳ සුභා සමග ආලයෙන් බැඳෙන වෙළෙන්දා, ඇයවත් රැගෙන ගම්මානයෙන් පලා යද්දී සුභා සොයමින් වනයේ බොහෝදුකින් ඇවිදයන ධාරාට ඇලපාරක තිබී ඔහු සුභා කැටුව ආ දිනයේ ඇයගේ ළැම වසාගැනීමට දුන් රෙදිකඩ ඇස ගැටෙනවා. කඳුළු සලමින් ඒ රෙදිකඩ දෝතින් වැළදගන්නා ධාරා තිරයේ දිස්වනවිටම මේ ගීතය පසුබිමින් අපගේ දෙසවනට ගලාගෙන එනවා.

මහා ශෝකී වාදනයෙන් ඇරඹෙන ගීතයේ පළමු කොටසින් මෙහෙම කියැවෙනවා.

" කුඩා ගමේ මද්දහනේ අව් රස්නේ නිවා
හූරි කඳුපෙතේ දඩමං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළදන්නයි සොබා...."

ධාරට එකවිටම සිහියට නැගෙනවා ඔහු වන්නි වනපෙතේ දඩයමේ ගිය හැටි. ඒ ගිහින් එකතුකරගත් දේ විකුණලා සෙනෙහසේ නාමයෙන් ඇයට ඇති ආලවන්ත කමට කරට දාන්න රිදී පොටක් ගන්න එක තමයි ඔහුගේ ඒකායන බලාපොරොත්තුව හා සිහිනය වෙලා තිබුණේ.

දෙවැනි කොටසින් මෙහෙම කියනවා....

" මගේ පැලට නුඹ කැන්දං පැමිණි දොහේ එදා
මල් ගොමර පිපුණු ළමැද වසා ගනිං කියා
මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා ගියා
රිදී පොටක් කරලන්නට වරම් නැතුව ගියා....."

එදා කරකාර බැඳලා ඇයව තමන්ගේ පැලට කැන්දාගෙන ආ දිනයේ මල්ගෝමර පිරැනු ළමැද වසා ගන්නට දුන් සළුව ඔහුට සිහිවෙනවා. ඒ සළුව තමයි දියපාරේ දමා ගොස් තිබී ඔහුට හමු වෙන්නේ.

එතකොට මොනවද මේ මල් ගෝමර කියන්නේ. දැන්නම් කාන්තාවෝ මේවා හමේ මතුවෙනවට කැමතිනෑ. මේවා තමයි අළුහම් කියලත් කියන්නේ. ඒත් කවියා මේ මල් ගෝමර පිරැනු ළමැදේ ලස්සනක් දුටුවා. එය ස්වභාවික ආභරණයක් සේ සැලකුවා.

ඉතිං ධාරා දුක්වෙනවා ඒ සළුවෙන් ළමැද වසා ගිය ඇයගේ කර පලන්දන්න ඒ පෙරැම් පුරාගෙන සිටි රිදී පොට පළදන්නට වරම් නැතිව ගිය එක ගැන.

ගීතයේ අවසාන කොටසින් තමයි සැබෑ ප්රේමයේ පරිත්යාගශීලී බව අපට නැවත නැවතත් පුන පුනා කියන්නේ.

" ආලවඩන අකුරැ පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙක සකී
ආලෙ බිඳුනදා කුමකට කඳුළු හෙළනු සකී
ආලවඩන යන තේරැම බෝසත් කම සකී......"

සැබෑ ආලයේ තේරැම මොකක්ද කියලා ධාරා අපෙන් අහනවා. මෙතන් පටන් රෑට පැලේ තනියම නිදාගන්න සිදුවෙනවා වගේම සිහිනයකවත් දැන් මේ ආලය තිබෙයිද කියලා විමසනවා. අවසානයේ බිඳුණු පෙම ගැන අඬා වැලපිලා තේරැමක් නැතිබව ඔහුම තේරැම් අරගෙන පෙරැම් පුරනා බෝධිසත්වයෙකු සතු ගුණයක් වගේ ඇයට මෛත්රී කරන්නට හිත හදාගන්නවා. 

කිසිඳු ආරෝවක් නොකොට හඬමින් හිස් අතින්ම ධාරා පැලට එනවා. මේ මෛත්රීසහගත පරිත්යාගශීලී පැවැත්ම බියගුලු හා නිවට කමක් බවත් එය රැහේ හුලවාලියාට තරම්නොවන බවත් පවසමින් මුලසිටම ධාරා සමග තරහින් සිටි හා පළිගැනීමට අවස්ථාවක් එනතුරැ බලා සිටි ඒ රැහේම එකෙකු( විමල් කුමාර ද කොස්තා) ධාරාට මේ අසරණවූ අවස්ථාවේදී පිහියකින් ඇන මරා දමනවා. 

ගීය මතකයේ රැදුනා මෙන්ම මේ අවස්ථාවත් මගේ සිතේ නොමැකී පවතිනවා. ඉන්පසු රැහේ දෙවැන්නා(මර්වින් ජයතුංග) අතින් කොස්තාද මැරැම් කන අතර වෙළෙන්දෙකු ලෙසට ගමට පැමිණි සිදාදියේ ධනවත් පුද්ගලයෙකු වූ ටෝනි රණසිංහයන් සමග සුභා විවාහ වෙනවා. හුලවාලී සිනමා පටයේ කතාව සැකෙවින් මෙයයි.

එදා පටන් මේ ගීතය කණ වැකෙන හැම මොහොතකම මේ සිනමා පටයත්, මගේ පියා සමග එය නැරඹීමට ගිය අවස්ථාවත් චිත්රපටයක රෑප රාමුපෙළක් සේ මගේ මනසේ ඇඳී යනවා. 

බලන්න ඔබත් මේ ගීතයට සවන් දී......



Monday, 28 July 2014

හේලංකඩ.....


හේලංකඩ ඇන තියාන
මොකදෑ බර කල්පනාව
කොයි උඹෙ අර මල් හිනාව
වෙනදා ඔය මුව පැලැන්ද
සුදුබංඩයියේ... සුදු බංඩයියේ...

කොළදින් වැඩ පහු වුණාද
වැස්සෙන් කරදර වුණාද
මෙදා සැරෙත් ණය වුණාද
නැත්නං අර මක් වුණාද
සුදු බංඩයියේ... සුදු බංඩයියේ...

උඹේ සිහින පැතුම් කන්ද
බොල්වී හුලගේ ගියාද
කනේරැ මල් පිපෙන ලන්ද
අනේ මෙදා මල් වරන්ඩ
සුදු බංඩයියේ.... සුදු බංඩයියේ.....

ගේය පද: පූජ්ය කෝන්වැවේ අරියරතන හිමි
සංගීතය: දර්ශන රැවන් දිසානායක
ගායනය: තුෂාරි බොලුකඳුර

මෙම ගීතය බොහෝවිට ඔබ අසාත් ඇති. මට මේ ගැන දැනගන්නට ලැබුණේ පහුගිය සති අන්තයේ මේ ගීය ලියූ පූජ්ය කෝන්වැවේ අරියරතන හිමියන් හා දොඬමළුවන්නට මා ලද මහඟු අවස්ථාවට පින්සිදු වන්නටයි.

අප කවුරැත් දන්නා නැගී එන අනර්ඝ සංගීතවේදියකුවන දර්ශන රැවන් දිසානායකයන්ගේ සංගීතයට නවක ගායිකාවක වන  තුෂාරි බොලුකඳුර තම අව්යාජ ගැමි හඬින් ගයන මේ ගීතය වන්නි හත්පත්තුවේ ඉතා දුෂ්කර ගම්මානයකට මගේ හිත රැගෙන ගියේ මටත් නොදැනීමයි.

ගීතය පුරාවටම හමන්නේ ගැමි සුවඳ. ඉතාමත් දුකින් බලාගත් අත බලාන ඉන්න සුදුබංඩට තවත් තරැනියක්( ඔහුගේ පෙම්වතිය වන්නට පිළිවන්) එසේ ඉන්නේ මන්දැයි අසා සිටින පුවතකුයි මින් කියවෙන්නේ.

" හේලංකඩ ඇනතියාන 
මොකදෑ බර කල්පනාව"

මේ පළමු පදයෙන් කියවෙන "හේලංකඩ යනු කුමක්ද? සමහරවිට ඔබ දන්නවත් ඇති. අවංකවම මම දැනගෙන හිටියේ නෑ. මම හාමුදුරැවන්ගෙන් ඒ වචනයේ තේරැම විමසූ අවස්ථාවේ එතුමා බොහොමත්ම නිහතමානීව මට එය පැහැදිලි කළා.

හේලංකඩ කියන්නේ ගැමි කටුමැටි ගෙවල්වල එළියේ බිත්තිය පාමුල බිත්තියටම අල්ලලා සාදන වැටිය. මෙය මැටියෙන්ම අඩියක් පමණ පළලට හා පොළොවේ සිට අඩියක් පමණ උසටයි හදන්නේ. වැස්ස වැටෙන විට වහලේ පොල් අතු හෝ පිදුරැ දිගේ වෑහෙන වැහි වතුර ඉසී ගෙදර බිත්ති සේදී යාම වැළැක්වීමටයි මේ හේලංකඩ සාදන්නේ.

ඉතිං මේ සුදුබංඩා ඒ වැටිය උඩ ඇන තියාන ඒ කියන්නේ ඉඳගෙන ඉන්නකොට ඒ යුවතිය වෙනදා මූණේ තිබුණ මල් හිනාව කෝ කියා අසනවා.

බංඩයියගේ උත්තරයක් නෑ. දර්ශන ඉතාමත් මනරම් අයුරින් මේ අවස්ථාව සංගීතයෙන් අපට මවා පෙන්වනවා.

ඉන්පසු දෙවන කොටසින්, පිළිතුරක් නැති නිසා යුවතිය නැවත අසනවා...

"කොළදින් වැඩ පහුවුණාද
වැස්සෙන් කරදර වුණාද
මෙදා සැරෙත් ණය වුණාද
නැත්නං අර මක් වුණාද"

මෙහි මොනවද මේ කොළදින් වැඩ කියන්නේ? මෙහි තේරැමත් හාමුදුරැවෝ මට පහදා දුන්නා.
ගොයම් පැහුණු පසු ඒවා කැපීම,කමතට ගෙනඒම,ගොයං කොලේ තැනීම,පෑගීම හා බැත හුළං කිරීම වැනි වැඩකටයුතු සියල්ලට තමයි කොළදින් වැඩ කියන්නේ.

මේ යුවතිය අසා සිටින හේතු තමයි ගොවීන්ට සාමාන්යයෙන් තියන ප්රශ්න. එකකටවත් උත්තර නැතිනිසා ඇය ආයිත් අහනවා නැත්නම් අර මක් වුණාද කියලා.

ගීතයේ අවසාන කොටසේදී ඇය ප්රාර්ථනාවක් කරනවා.
"කනේරැ මල් පිපෙන ලන්ද මෙදා සැරේ මල් වරන්ඩ"
මෙයින් අදහස් කරන්නේ කුමක්ද? 

ඔබට මතක ඇති ණය ආපසු ගෙවා ගත නොහැකිවූ රජරට ගොවීන් කනේරැ ඇට අනුභව කර දිවි නසා ගත් පුවත.

ඉතිං මේ යුවතිය අනේ දිවි නසා ගන්න එපා නොකියා එය සිඳුවිය හැකි මඟක්වූ කනේරැ ඇට සෑදෙන මල් පිපෙන්නට එපා කියනවා. බලන්න එතුමා කෙතරම්නම් ලස්සනට එය ප්රකාශකරනවාද කියා.

මේ ගීතයට නිර්මාණය කර ඇති රෑප රචනයටනම් මගේ වැඩි මනාපයක් නෑ. ඔබත් රෑප නොබලම මෙම ගීතයට සවන් යොමුකළොත් ඒ ගැමි කටහඬේ සහ දර්ශනගේ ඉතාමත්ම මැනවින් නිර්මාණය කොට ඇති සංගීතය රස විඳීමට හැකිවන බැව් මගේ විශ්වාසයයි.

මේ ගීතය බිහිවූ ආකාරයත් ඉතාමත්ම රසවත් කතාවකි. එය අරියරතන හිමියන් මා සමග ඉතාමත්ම සතුටින් පවසා සිටියා.

අප කවුරැත් දැනගන්නටත් කලින් දර්ශන රැවන් හාමුදුරැවන්ගේ ළගම හිතවතෙක්. හාමුදුරැවෝ රජරට ප්රදේශයේ පාසලක සේවය කරණ වකවානුවේ මේ තරැණ ගැටයා සංගීතය හා ගීත රචනාගැන කතා බහ කිරීමට හාමුදුරැවන්ගේ පන්සලට ඒම පුරැද්දක් කරගෙන තිබුණා. දිනක් ඔහු හාමුදුරැවන් ලියූ ගීත අතපතගාමින් සිටියදී මෙම හේලංකඩ ගීතය ඔහුගේ ඇසගැටී හාමුදුරැවන්ගෙන් ඉල්ළිගෙන ගොස් තිබෙනවා. 

මෙය සිදුවී බොහෝ කලක් ගතවුණාට පසු හාමුදුරැවන්ට එය දර්ශනට දුන් බවත් දර්ශනට එය හාමුදුරැවන්ගේ නිර්මාණයක් බවත් අමතක වී තිබෙනවා.

ඔය කාල වකවානුවේ දර්ශන මේ තරම් සියුමැලිද කළුගල් නිර්මාණයත් සමග ජනප්රියතාවයේ හිනිපෙත්තටම පැමිණුනා. හාමුදුරැවොත් ලංඩනයේ වැඩ වාසය කළා.

දර්ශන මෙවැනි ගීතයක් සොයමින් සිටිනවිට ඔහුගේ බිරිඳ මෙම ගීතය ඔහුගේ ගී රචනා ගොනුවකින් සොයා ඔහුට ඉදිරිපත් කිරීමෙන් අනතුරැව මෙම ගීතය බිහිවුවත් ගීතය
ලියූ තැනැත්තා සොයාගැනීමට නොහැකි වී තිබෙන අතර දර්ශන මාධ්ය හරහා එය ලියූ තැනැත්තාට ඉදිරිපත්වන ලෙස ඉල්ලා තිබෙනවා. 

ඒ අවස්ථාවේ කිහිපදෙනෙකුම ඉදිරිපත්වී ඇති අතර පූජ්ය පල්ලේගම හේමරතන හිමියන් මේ ගීය අරියරතන හිමියනගේ බැව් හඳුනාගෙන ලංඩනයට කතා කොට අරියරතන හාමුදුරැවන් දැනුවත් කිරීමෙන් වෙන්නට ගිය කලා මංකොල්ලයට වැට බැඳ තිබෙන අතර ගීතයේ නියම නිර්මාණකරැ කෝන්වැවේ අරියරතන හිමියන් බැව් රංජිත් රෑපසිංහ මහතා විසින් දර්ශන රැවන් දිසානායකයන්ට දැනුම් දී තිබෙනවා.

මෙවැනි වටිනා නිර්මාණ කිරීමට අපේ අරියරතන හාමුදුරැවන්ට සහ දර්ශන රැවන් දිසානායකයන්ට ශක්තිය හා දහිරිය නිරතුරැවම ලැබේවායි පතමි.






Tuesday, 15 July 2014

නිවන් දැකපං මගෙ පුතේ....


කුසට හරිහැටි අහර නොමැතිව දැඩි කළේ නුඹ පොඩි පුතේ
ඇඟට ඉනු ලේ කිරට හරවා උස් මහත් කෙරුවේ පුතේ
දුකට විවරවු දොරටු වසලා සැපට මඟ තැනුවේ පුතේ
සැමට දිනයෙක නිවන් යන්නයි සසුන වෙත පිදුවේ පුතේ
   
පුතේ නුඹ හට දනක් පුදනට සැම දිනේ මා සිතනවා
හිතේ හයියට ගතු කියාගෙන ගතේ සවි මට රවනවා
නෙතේ ඇඳිරිය නුඹව දුටු විට පහව ගොස් මඟ බලනවා
අතේ දුරකින් නොසිටියත් හැම සිහිනයෙම ළඟ රැඳෙනවා
   
තාත්තත් දැන් ලෙඩ ඇඳේ මතකයත් හොඳ හැටියට නැතේ
මේවා නුඹහට කියනු කෙලෙසද ගලයි උණු කඳුලැලි නෙතේ
පාන්දර හීලයත් අරගෙන එනව හෙට පන්සල වෙතේ
වීසිකර මේ සසරෙ දුක් පොදි නිවන් දැකපං මගෙ පුතේ
   

Tuesday, 8 July 2014

ඇඹිලිපිටිය සහ එම් ජී......



පසුගිය වකවානුවේ කාරණා ද්විත්වයක් හේතුවෙන් ඇඹිලිපිටිය කාගේත් කතා බහට ලක්වුනි.

ඉන් පළමු කාරණය වනාහී අඟනුවර ඇතුළු රටේ අනෙකුත් ප්රදේශවලට දුම් බීම සඳහා කංසා එසේත් නැතිනම් ජනවහරට අනුව 'සූස්ති' සඳහා අවශ්යය කළමනා සපයන ප්රදේශය වශයෙනි.

අනෙක් කාරණය වූයේ ඒ 88/89 අඳුරැ යුඟයේදී ඇඹිලිපිටියේදී සිදුවූ අමානුෂික ශිෂ්යය ඝාතනයයි.

මේ කාරණා දෙකින්ම ඇඹිලිපිටිය කාගෙත් කතා බහට ලක්වූවත් ඒ ප්රසන්න ආකාරයට නොවේ.

මේ අතර එම් ජී යන නාමයද දකුණු ඉංදියාවේ ඉතාමත්ම ප්රබලව වැජැඹුණු යුඟයක් විය. ඒ එම් ජී රාමචන්ද්රන් නම්වූ දකුණු ඉංදියානු සිනමා නළුවා නිසාවෙනි. 'එම් ජී ආර්' නමින් පතල වූ ඔහු සිනමාවේ මෙන්ම දේශපාලන කරලියේද පිනුම් ගැසුවේය. එහෙත් ඔහු පිළිබඳවත් ජනතාව අතර එතරම් ප්රසාදක් නොවීය.

මේ අතරේදී තවත් එම් ජී කෙනෙකු පසුගිය සතිඅන්තයේ ඇඹිලිපිටියෙන් මුළු සිරිලකම කතා කරන චරිතයක් බවට පත් විය. ඒ නවක සංගීත අම්බරේ නව සඳක් ලෙස කිරැළ පළදිමිනි.

ඔහුගේ නම එම් ජී ධනුෂ්කය. ඒ එම් ජීගෙත් මේ එම් ජීගෙත් වෙනසවූයේ මේ එම් ජී මහා පොළොවේ පය ගසා ජීවත් වීමය. ගිනි කාස්ටකයේ පොළව සමග ගැටී තම දරැවන් රැකි උතුම් ගොවි රජෙකු ඔහුගේ පියා විය. 

දෙරණ නාලිකාව සහ ඒ විද්වත් සංගීතයෙන් පිරිපුන් විනිසුරැ මඬුල්ල මේ එම් ජී සොයා නොගන්නට ඔහුත් තවත් කැලයේම පිපී කැලයේම පරව යන කැලෑ මලක් වන්නට ඉඩ තිබුණි.

පළමුකොටම ඔවුනට මගේ හදපිරි උත්තමාචාරය.

දැන් අප, අපේ කතා නායකයා දෙසට
හැරෙමු.

ඔහු අපගේ දිවංගත බයිලා චක්රවර්තී එම් එස් ප්රනාන්දුගේ ගීතයන්ට නව ජීවයක් කැවීය. එතරම්ම හොඳින් එම් එස්ගේ ගීත ගායනා කරන වෙනත් අයෙකු මෑත භාගයේදී සිටියාදැයි සැක සහිතය.

"මම එන්නේ ඩුබායි රටේ ඉඳලා" " රන් වන් වත බබළන්නේ වැනි එම් එස්ගේ ගීත කෙතරම් නම් මනරම්ව හා විශිෂ්ට අයුරින් ඔහු ගැයීද?
ඒ පමණක් නොවේ එච් ආර් ජෝතිපාල, මිල්ටන් මල්ලවආරච්චි හා මිල්ටන් පෙරේරා ඇතුළු වෙනත් ඕනෑම ගායකයෙකුගේ ගීත ඉතා අපූරැවට ගායනා කිරීමට ඔහුට හැකිවිය.

ඔහුට වාසනාව ළඟා කරදුන් ගීතය වූවේ " හිස් ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලී" ගීතයයි. එය නීල් රෑපසිංහගේ දැන් මතකද චිත්ර පටයට එච් ආර් ජෝතිපාලයන්, මිල්ටන් පෙරේරා හා අල්හාජ් මොහිදින් බෙග් යන ගායක ත්රිත්වය විසින් එම් කේ රොක්සාමිගේ සිත් සතන් පැහැර ගන්නා කන්කලු තනුවකට ගයන ලද ගීතයකි. 

එම ගීතය කෙතරම් හොඳින් ඔහු ගැයූවාද කියතොත් අති මහත් ප්රේක්ෂක පුතිචාර ගලා එන්නට විය.

එදා සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගනයේදි අවසාන මහා තරගයටද එම් ජී එම ගීතය ගැයීය.

එහි මුල් පෙළවල අසුන්ගෙන සිටියේ එසේ මෙසේ පිරසක් නොවේ. දශක ගණනාවක් පුරාවට රිදී තිරය හා වේදිකාව ගායනයෙන්, සංගීතයෙන් හා රංගනයෙන් දිග්විජය කළ කලා කරැවන් සමූහයකි. 

ඔව්හූ කුල්මත් කිරීම සාමාන්ය ජනතාව කුල්මත් කිරීම මෙන් පහසුකාරියක් නොවේ මන්ද ඔහුවු මේ සෑම කළා අංගයකින්ම කෙළ පැමිණියෝ වීමය.

එහෙත් අපේ එම් ජී ඒ අසීරැ කාරිය මනාවටම කළේය. නළුවෝ අත්පුඩි තැලුවෝය. සමහරැ තම අසුන්වලම හිදිමින් රංගනයන් කළෝය. 

මුළු ශාලාවම එකම හඬකින් ගිඟුම් දෙන්නට පටන් ගති. ඒ "එම් ජී! එම් ජී යන නාමයයි.

අපේ එම් ජීගේ අහිංසක පියා සතුටු කඳුළු වගුරවමින් මේ ආශ්චර්ය්ය දෙස දෑස් දල්වා බලා සිටියේය.

සැමගේ පැසසුම් මධ්යයේ ඒ සුබ මොහොත උදාවිය. මෙවර සිහින කිරැළ හිමි කරගන්නේ එම් ජී ධනුෂ්ක යැයි නිවේදක තමෝ ප්රකාශ කරනවාත් සමගම මුළු ශාලාවම ප්රීති ඝෝෂාවෙන් පිරී ඉතිරී ගියේය.

එම නිවේදනය කණ වැකුණු සැණින් අපේ එම් ජී තම පියා වෙත දිව ගියේය. ඒ දසුන් දුටු සැමගේම ඇසට තුටු කඳුළක් එකතුවූයේ නිරායාසයෙන්මය.

සංගීත අම්බරයට පෑයූ මේ නවතම සඳේ සහන් එළියෙන් අව් කාස්ටකයට කරවී තිබණු එම් ජීගේ පියාගේ වත මඬල හා අදුරැ යුඟයෙන් කළු ගැහුණු ඇඹිලිපිටිය ඒකාලෝකවනු දක්නට ලැබුණි.

දයාබර එම් ජී , ඔබගේ කළා දිවිය හිස් ටින් එකක් වාගේ නොවී දිනෙන් දිනම සාර්ථක වී , අපේ සංගීත ලෝකයට අනඟි නිර්මාණ ඔබගෙන් බිහිවේවායයි අවංකවම හද පිරි සෙනෙහසින් යුක්තව ප්රාර්ථනා කරමි. 



Thursday, 3 July 2014

ඉතිං සමුදෙමි රොබරෝසියා.......

පේරාදෙණිය සරසවියේ 'වළ' නමින් ප්රචලිත එළිමහන් රංගපීඨය මධ්යයේ තිබූ විසල් රොබරෝසියා ගස මැරී ඇදවැටී ඇති අයුරු දැකීමෙන් කම්පාවට පත් මා අතින් පහත නිසදැස ලියැවුණි.


වසන්ත කාලයේ රෝස පැහැයෙන් ගසත් බිමත් වසාලූ මෙම වෘක්ෂය නැති රංඟපීඨය නළු නිළියන් නොමැති නාට්යයක් වනු ඇතැයි මට සිතිනි.........





හන්තාන නිසසලයි
මහවැලිය ඉකි බිඳියි
හමන මද පවන් රොද
මළගමේ ගීතයයි......


වළේ ඇති පලේ කිම
නොමැති දා නුඹේ වත....?
රෝස පැහැ මලින් පිරි
නුඹයි එහි පැහැසරය......


මණමෙ හා සිහබාහු
සමඟ දික්තල නැගූ,
ඒ මහා විසල් ගොස
ගොළුවෙලා වගෙයි අද......


නුඹ තරම් රැඟුම් දුටු
මෙපමණට දෙබස් ඇසු
කෙනෙකු තව මේ ලොවේ
සිටීදැයි සැක සිතේ.......


මෙලොව අනියත බවත්,
කිසිදු තිර නැති වගත්
පසක් කර යළි නොඑන 
ගමන් යන නුඹට මම




පතන්නෙමි නිවන් සුව...!
දයාබර රොබරෝසියා.......






Tuesday, 17 June 2014

හැඟුමන් පරදා බුද්ධියෙන්......



යුද ගිනි නිවී පස් වසරයි ගත වූයේ
කුස ගිනි පමණි ගින්නක් සේ මතු වූයේ
මරණයෙ ශීත සාමෙන් උණුසුම් වූයේ
මගෙ රට දියුණු වී එන ලකුණකි පෑයේ
   
ධර්මදාස සිංහල ගීයක් ලියුවා
කන්දසාමි මනරම් තනුවක්යෙදුවා
මොහොමදු අයිය හරි රහ කර එය ගැයුවා
මුළු සිරි ලකම තාලෙට අත් පුඩි තැළුවා
   
ගංදිය ගලා ජන කැල හෙම්බත් වෙද්දී
පන්සල් පල්ලි සෙවණේ හැම රොක් වෙද්දී
එක පත අනා කා සොයුරන් සේ ඉද්දී
දුටුවේ එකම සිහිනෙකි රෑ නිදි යද්දී
   
සිරුරේ දුවන්නේ එක රුදිරය නොවෙද
දුප්පත්කමයි ඇති පොදු ගැටලුව නොවෙද
සොහොයුරු පෙමින් බැදුනේ අප සැම නොවෙද
සිරිලක් මවගේ වටිනා දරුවන් නොවෙද
   
අනුන් බහට ඇයි අප සැම නතුවන්නේ
බොරවුණු දියේ මාළුයි උන් ඩැහැගන්නේ
නැතිවුණු දිනේ සාමය මරු රජයන්නේ
ඔළුවෙන් ක්රියා කොට රට දැය සුරකින්නේ
   

Friday, 6 June 2014

කෙසේ පිළිතුරු සොයමුද...?

දිනය: 2014 පොසොන් මස තුන්වැනි අඟහරුවාදා

ස්ථානය: එංගලන්තයේ බර්මින්ග්හැම් නුවර එජ්බැස්ටන් ක්රීඩාංගණය

එංගලන්නය හා ශ්රී ලංකාව අතර පස්වැනි හා අවසාන තීරණාත්මක අන්තර්ජාතික ක්රිකට් තරගය....


එංගලන්තයේ කිසිවිටෙක විශ්වාසයේ තැබිය නොහැකිවූ කාලගුණය මෙදිනත් මොනවට සනාථ කරමින් කඩින් කඩ මඳ වැසි ගතිය ඇතිවෙමිනුයි පැවතුණේ. ලංඩනයෙන් ඈත්වූ පිටියක් නිසාවෙන්ද සතියේ මැද වැඩ දිනයක් වූ හා කාලගුණයේ තිබුණු අකාරුණිකභාවය නිසාවෙන්ද ලාංකීය නරඹන්නන් වැඩිපුර ප්රමාණයක් ක්රීඩා මංඩපවල දකින්නට සිටියේ නෑ.


නියමිත වේලාවට කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම කාලගුණය ගැනද ඊට පසුව එන ඔවුන්ම හදාගත් ඩක්වත් හා ලුවිස් න්යායද සැලකිල්ලට ගනිමින් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා.

පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවන් අපගේ දක්ෂ පන්දු යැවීම් හමුවේ ඉතාමත් සුපරික්ෂාකාරී පිතිහරඹයක නිරත වුණා.

මුලින්ම මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ බෙල්ද ඉන්පසුව පිළිවලින් බැලන්ස්,ජෝ රූට් හා කුක්ද දැවී ගියා. 

ජෝ රූට් හා කුක් දැවී ගියේ තරගාවලියේ වැඩිම විකට් ලාභියාවූ සචිත්ර සේනානායකගේ අනර්ඝ පන්දු හමුවේ. එදින උදේ සිටම විස්තර විචාරකයන්ගේ කතා බහට ලක්වූයේ සචිත්ර. එයට හේතුව වූයේ ඔහුගේ පන්දුයවන ඉරියව්වෙහි වූ යම්කිසි සැකසහිත භාවයක්.

එදා ඕස්ට්රේලියාවේදී එවකට නැඟී එන තරුණ මුරලිගෙන් එල්ලවිය හැකි තර්ජනය කලින්ම දුටු සුද්දෝ මුරලිගේ ක්රීඩා දිවිය විනාශ කිරීමට මාන බැලූ අයුරු මට සිහිවෙනවා. අපගේ එඩිතර නායක අර්ජුන හා මුරලිට උපතින්ම ලැබී තිබූ ඔහුගේ අතෙහි වූ විකලංඝ භාවයට පින්සිදුවන්නට ඔවුනගේ එම උත්සහය ව්යාර්ථවී ගියා.


මේ තරගාවලියේදී ඔවුන් තවත් නැඟී එන අනාගතයේ ඔවුනටම තර්ජනයක් විය හැකි ක්රීඩකයෙකු දුටුවා. ඔහු පන්දුවට පමණක් නොව පිත්තටත් එකසේම හපනකු බැව් ඔවුන් දැනසිටියා. සචිත්ර විනාශ කිරීමේ පළමු පියවර ආරම්භ වුණා. චෝදනාව වූයේ සචිත්ර පන්දුව දමා ගසනවා යන්නයි. එය විභාග කරනතෙක් දින විසි එකක් යනතුරු සචිත්රට ක්රීඩා කිරීමට අවසර ලැබී තිබුණා.


මෙම තරගයේදී සචිත්රගේ පළමු ගොඳුරවූ ජෝ රූට්ගේ දැවීයාම විනිසුරු විසින් නිෂ්ප්රභා කළා. තමන්ගේ අත වැදි පන්දුව තමන්ටම නොදැනුණ ලෙසට හැසිරී සංඝාට එම උඩ පන්දුව රැක ගැනීම අසීරුවන සේ එයට බාධා කරමින් රූට් මහතා ක්රීඩාවේ මහත්මා ගුණ මනාවට ප්රදර්ශනය කළා. කෙසේ හෝ තුන්වැනි විනිසුරු විසින් දැවීයාම ස්ථීර කිරීමෙන් අනතුරුව රූට් ක්රීඩාගාරයට රූටා ගියා.


ඉන්පසු එලැබියේ තරගයේ තීරණාත්මක අවස්ථාව හා ජවනිකාව. එවෙලේ සචිත්ර විසින් තරගයේ 43 න් වැනි පන්දුවාරය ක්රියාත්මක කරමිනුයි පසුවුනේ. එවෙලේ පන්දු යවන අන්තයේ සිටියේ මීට පෙර තරගයේ වීරයාවූ ජොස් බට්ලර්. කුස්සියේ හිටි කුක්ලා හා බට්ලර්ලා අපේම පන්දුයවන්නන් විසින් සඳලුතලයට ඔසවා තැබීමේ ප්රතිඵලයක් වශයෙන් බට්ලර්, මාස්ටර් කෙනෙකුටත් වැඩියෙන් පිම්බීයි පසුවූයේ.


ජොස් බට්ලර්ට මීට පෙර තරගයේදී හා මෙම තරගයේ 41 වැනි පන්දුවාරයේදී පන්දුයවන්නා විසින් පන්දුව අතින් නිදහස් කිරීමට පෙර තම සීමාවේ නොසිට ලකුණු සඳහා දිවයාම ආරම්භ කිරීමට එරෙහිව අනතුරු හඟවා තිබුණා.

43 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදි ජොස් විසින් එම වරදම කිරීමේ ප්රතිඵලයක් වශයෙන් සචිත්ර විසින් පන්දුව නොයවා එම අන්තයේ බේල්ස් ඉවත්කිරීමෙන් ඔහුව දුවද්දී දැවීයාමට හසු කළා. එහිදී සචිත්ර අනුගමනය කළේ සුද්දන් විසින් පනවා තිබූ ක්රිකට් නීතියක් අකුරටම අනුගමනය කිරීම පමණයි. එහිදී ශ්රී ලංකා පිලේ නායක මැතිව්ස් විසින් එම දැවී යාම අනුමත කිරීමෙන් අනතුරුව නීතිය උල්ලංඝනය කිරීමේ වරදට දැවී ගිය බට්ලර් තරහින් පුපුරමින් හා හිස දෙපසට වනමින් ක්රීඩා ගාරයට පල්ලම් බැස්සා.


මෙහිදී වෙන කටයුතුවලදී මෙන් සුද්දගේ නීතිය අකුරටම ක්රියාත්මක කළ අප, මානව අයිතිවාසිකම් කඩ කළ අයුරින් ඔවුන් හැසිරුනා. ඔවුන් එවැනි නීතියක් ක්රියාත්මක කරන විට එය නීතිගරුක මහත්මා ගතියක් බැව්ද අප එයම ක්රියාත්මක කරන විට මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙසද සැලකීම කාටනම් පහදා දෙමුද?
 

ජෝ රූට්ෂේ දැවී නොගිය අයුරින් හැසීරීම අප කළානම් අප මහා බොරු කාරයන්සේ හංවඩු නොගසාවිද? මේවාට පිළිතුරු නැත. එය හරියට හැත්තෑව දශකයේ සිනමා පටයක තිබූ දෙබසක පැනයකට පිළිතුරක් නොමැති බැව් පෙන්වීම සඳහා ඉදිරිපත් කළ උපමවක් මෙනි. 
" කුරුල්ලෙකුගෙන් අහපං ඇයි ඌ සිංදු කියන්නේ කියලා... ඒ උපමාව සුන්දර වැඩිනම් බල්ලෙකුගෙන් අහපං ඇයි පඳුරක් දැක්කම කකුල උස්සන්නේ කියලා.. ඕවට උත්තර නෑ මල්ලී." ඒ වගේ මේවට උත්තර නැත. උත්තර දිය යුත්තේ පන්දුවෙන් හා පිත්තෙන්ම පමණකි....