Pages

Saturday, 8 November 2014

කොක්‍නි ඇක්සන්ට්......



1995 අග භාගයේදී එංගලන්තයට පැමිණි මා උතුරැ ලංඩනය ආසන්නයේ පිහිටි වොට්ෆඩ් පුරවරයේ මා ප්රිය බිරිඳ හා දරැදෙදෙනා සමඟ ජීවත් වෙමි. 

වොට්ෆඩ් නගරයට ඒමට පෙර ලංඩනයේ කොලින්ඩේල් නම් පෙදෙසේ වාසය කළෙමි. 

බහු ජාතීන්ගෙන් පිරි ලංඩනයේ අඩුවෙන්ම ඇත්තේ ඉංග්රීසි ජාතිකයින් යැයි කියූවොත් එය අතිශෝක්තියක් නොවේ. මන්ද බැලූ බැලූ අත පෙනෙන්නේ යම්විටෙක කළු ජාතිකයෙකි. එසේත් නැතිනම් ඉන්දියානු හෝ පකිස්ථානු වැනි ආසියතිකයෙකි. නැතිනම් අරාබිකරයේ වැසියෙකි. මෑතක සිටනම් පෝලන්ත හෝ රැමේනියානු වැනි නැගෙනහිර යුරෝපීය වැසියෙකි.

එංගලන්තය යුරෝපීය සංගමයට බැදුණු පසු ඔවුන් වැඩි වැඩියෙන් එංගලන්තයට ඇදී ආහ.

වෘතියෙන් සිවිල් ඉංජිනේරැවකු වන මට ඉදිකිරීම් කර්මාන්තයේදී මේ සියලුම ජාතීන් සමඟ වැඩකිරීමේ අවස්ථාව උදාවුණි.

මීට අවුරැදු දහයකට හෝ පහළොවකට පෙර ගොඩනැඟිලි,මංමාවත් හා රථගාල් වැනි ඉදිකිරීම්වල ශ්රම හමුදාව වූයේ බොහෝවිට අයර්ලන්ත ජාතිකයිනි. ඔවුහු බොහෝ දෙනෙකු පාහේ අවුරැදු 20 හෝ 30පෙර දකුණු අයර්ලන්තයේ සිට ලංඩනයට සංක්රමණය වූවන්ය. 

සැමවිටම ඉංග්රීසියෙන්ම කතා කල ඔවුහු කිසිවිටෙක ඔවුනගේ මව් භාෂාව පාවිච්චිකලේ නැත. අමුතුම උරැවකට ඉංග්රීසි වචන උච්චාරණය කළ ඔවුන්ව තේරැම් ගැනීමට මුල් කාලයේදී මට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය. 

වේල්සයේ හා ස්කොට්ලන්තයේ වැසියන්ද අප සමඟ වැඩකළහ. ඔවුහු නොපෙන්නුවාට සෑම විටම වාගේ ඉංග්රීසින් හෙළා දුටුවහ. එංගලන්තයේම වැඩකොට ලැබෙන දෙයින් යැපෙමින් ඔවුනගේ රටටම ආවැඩූහ.

ඉංග්රීසි ජාතිකයින් බොහෝවිට කළමනාකරණ අංශයේ රැකියාවන්හී යෙඳුණු අතර මඩ අතපතගාන රැකියාවලින් බැහැරව සිටියහ. කම්කරැ රැකියා කළේ අඩු ඉංග්රීසි ජාතිකයින් කිහිප දෙනෙකි.

කෙසේ වෙතත් බොහෝ ඉංග්රීසි ජතිකයින්ගේ කොහෙන් හෝ අයර්ලන්ත ජාතික කොනක් තිබිණි. ඒ තරමටම යුඟ ගණනාවක් තිස්සේ ඔවුහු මිශ්රව සිටියහ. 

අයර්ලන්ත ජාතිකයින් හැඳින්වූයේ "පැඩීස්(paddies)" යන අනවර්ථ නාමයෙනි. එංගලන්තයේදී අයර්ලන්ත දෙමාපියන්ට දාව උපන් ළමුන් plastic paddies යනුවෙන් හැදින්විණි.

මේ කෙසේවෙතත් ගොඩනැඟිලි හා ඉදිකිරීම් අංශයේ 90% ක් පමණම ඉංජිනේරැවන් අපේ පුංචි ශ්රි ලංකා මාතාවගේ දරැවන් වීම අපට ඉතාමත්ම ආඩම්බර විය හැකි කරැනකි.

එමෙන්ම වෙලහලදාමේ හා ඉන්ධන පිරවුම් හල් පාලනයේද සැලකිය යුතු ප්රමාණයකට ශ්රී ලංකාවේ නියෝජනය තිබිණි. විශේෂයෙන්ම දමිළ ජාතිකයින් වෙළදාම් ඉතා සරැවට කළහ.

නැගෙනහිර යුරෝපීයයන්ගේ ආගමනයත් සමඟ තත්වය වෙනස් විය. ඉදිකිරීම් අංශයේ කම්කරැ හමුදාව පෝලන්ත,රැමේනියානු,ඇල්බේනියානු හා ලිතුවේනියානුවන්ගෙන් පිරී ගියේය. මේ පිළිබඳව ඉංග්රීසි හා අයර්ලන්ත ජාතිකයින් අකමැතිවූවත් අඩු පඩියක් දී වැඩය කරගත හැකිවූ නිසා නැගෙනහිර යුරෝපිකයින්ටම රැකියා අවස්ථා හිමිවිය.

රියදුරන්,රෝහල් සේවකයින් පමණක් නොව මෙකී නොකී සෑම අංශයකම ඔවුහු සේවය කළ අතර විශාල වෙළහෙළදාම් පවා ඔවුන් සතු විය.

එමෙන්ම එංගලන්තයේ විශේෂයෙන්ම ලංඩනයේ එක් එක් පෙදෙස් විවිධ ජන කොටස් සඳහා ඉබේම වෙන්විය.

ලංඩනයේ වෙම්බ්ලි,ඊලින්ග් හා සවුත්හෝල් වැනි පෙදෙස් ඉන්දියානු ජාතිකයින්ගෙන් ගහන විය. දකුණු ලංඩනය හා විල්ස්ඩන් ,නීස්ඩන් හා හැක්නි කළු ජාතිකයින්ගෙන්ද ඊස්ට හැම් ,බාකින් හා ඉල්ෆඩ් වැනි පෙදෙස් පකිස්තානුවන්,බංග්ලාදේසීන් හා ශ්රී ලාංකිකයින්ගෙන්ද පිරැණි.

ඉදිකිරීම් අංශයේදී මා කතා බහ කල බොහොමයක් ඉංග්රීසි, අයර්ලන්ත ,වේල්ස් හා ස්කොට්ලන්ත ජාතිකයින්ගේ පවුල් ජීවිත බොහෝවිට අවුල් හෝ සංකීර්ණ විය. වැඩිප්රමාණයක් පළමු හෝ දෙවැනි විවාහයෙන් දික්කසාදවී දෙවැනි හෝ තෙවැනි සහකරැ සමඟ විසූහ. 

බොහෝදෙනෙකු අවුරැදු ගණන් එකට සිට ළමුන්ද හදමින් ජීවත් වුවත් විවාහ වී නොතිබුණි. සමහරෙකු මැදි වයසේදී හෝ මහලු වයසේදී විවාහ උත්සව පවත්වා විවාහ වූහ. සමහරැන්ට වෙන වෙන විවාහ වලින් හෝ සහකරැවන්ගෙන් ලැබුණු දරැවන්ද සිටියහ.

සැවොම නිවාස ගත්තේ බැංකුවලින් මෝගේජ්(mortgage ) ලබාගෙනය. එය කරගැනුමට බැරි උදවිය කුලී ගෙවල විසහ. හොඳටම පෝසත් කෙනෙකුට හැරෙන්නට ගෙයක්දොරක් සාදා ගැනීම සිහිනයක්ම විය.

මොවුන් කතා කල භාෂාවද වාසය කරන පෙදෙස අනුව වෙනස් විණි. ලංඩන් වාසීන් කතා කළේ අමුතුම උරැවකටය. එය "කොක්නි ඇක්සන්ට් " එක නමින් හැදින්විණි.

බර්මින්ග් හැම්,මැන්චෙස්ටර් හා ලිවර්පූල් වැසියන්ට තිබුණේ වෙනස්ම උරැවකි.

නිව්කාසල් වැසියන්ගේ කතා කිරීමේ විලාසය ඊට හාත්පසින්ම වෙනස්විය.

සැවොම පාහේ fu....ing යන වචනය නිතර භාවිතා කළහ. එය බොහෝවිට පාවිච්චි කලේ විශේෂන පදයක් වශයෙනි. උදාහරණයක් ලෙස ඉතා ලස්සන දෙයකට fu....ing beautiful යැයි කීහ. ඒතරම්ම මේ වචනය සමාජයේ එක් කොටසක් අතර පාවිච්චි වුණි.

රැජිනගේ ඉංගීසි කතා කල "පොෂ් "පිරිස මේ වචන නිතර භාවිතා නොකළහ.

ක්රිකට් ක්රීඩාවේ උපත එංගලන්තයේ සිදුවූවත් බොහෝ පිරිස ප්රිය කළේ පාපන්දු ක්රීඩාවටයි. පුවත් පත්වල අවසාන පිටු සේරම පාහේ පාපන්දු ක්රීඩාවේ පුවත් වලින් පිරැණි.

පබ්(pub) නමින් හැදින්වූ බාර්වලට වැදී පාපන්දු තරග නරඹමින් බීර තොල ගෑමට බහුතරය ප්රියකළහ. විස්කි බ්රැන්ඩි වැනි hard liquor පාවිච්චිය බොහෝ අඩුවිය. බොනවිට එකා බීර පයින්ට් දහය පහළව බිව්වේ ජලය පානය කරන්නාක් මෙනි.

කොයිදේ කළත් බ්රිතාන්ය වාසීන් ඉතාමත්ම නීතිගරැක වූහ. නීතියට හා පොලීසියට ඉතා බය පක්ෂපාතීත්වයෙන් කටයුතු කළහ. 

කිසිවිටෙක බීමතින් රිය පැදැවූයේ නැත. මත්පැන් පානය කල විට පොදු ප්රවාහන සේවාවන් හෝ කුලී රථයක සේවය ලබා ගති. 

හැමවිටම පෝලිම් ක්රමය අනුගමනය කළහ. ඕනෑම විටෙක තම වාරය එනතුරැ පෝලිමේ සිටියහ.බසයකට දුම්රියකට ගොඩවීමේදී සංසුන්ව රථයෙන් බසින්නන්ට ඉඩදී පෝලිමේ සිට රථයට ගොඩවූහ.

මහා මාර්ගයේ රථවාහන පැදවීමේදි කිසිවිටෙක මාර්ග තීරැ කැපුවේ නැත. අදාළ තීරැවේ වාහන පැදවූ අතර වාහනයේ නළාව කිසිවිටෙක හඬවනු නොඇසිණි. හෝනය නාද කරනු ලැබුවේ යම් කෙනෙකු සංඥාවක් නොදා වාහනය නැවැත්තුවොත් හෝ අතුරැ පාරකට හැරවුවහොත් වැනි රථවාහන හා මාර්ග නීති රීති උල්ලංඝනය කල විටෙක පමණි.

මේ අතර සියලු ජන කොටස්,වර්ණ,ආගම් හා ඇතිහැකි/නැතිබැරි අය අතර සමානාත්මතාවයට බෙහෙවින් ගරැ කළහ. කායික හා මානසික දුබල පුද්ගලයන් සඳහා රථගාල් වල කොටසක් වෙන්වුණි. ඔවුන් සඳහාම සැකසූ වැසිකිළි හා ඇතුල්වීමේ හා පිටවීමේ පහසුකම් සැපයිණි.

සේවා ස්ථානවල කිසියම්ම හෝ ආකාරයකින් සමානාත්මතාවය බිඳෙන දේවලට ඉඩ අහුරා තිබිණි. බෙහෙවින් මුදල් වියදම් කරමින් සේවකයින්ට ඒ පිළිබඳ දැනුම හා උපදෙස්ද ලබා දීමද නිරතුරැවම සිදු කෙරැණි. 

ඉංග්රීසි ජාතිකයින් ලිංගික ක්රියාකාරකම් ගැන විවෘතව කතා කරති. පාසල් වල පවා ඒ ගැන ඉගැන්වීම් හා සාකච්ඡා විෂය මාලාවට ඇතුළත් කොට ඇත.

ඒ නිසා තරැණ පරපුරට ඒ ගැන අපේ රටේ දරැවන්ට මෙන් කුතුහලයක් නැත. බොහෝදේ කිරීමට නිදහස ඇත. 

මහ මඟ ගෑනු දරැවකුට නිදහසේ ඇවිදයාමට අපේ රටට වඩා මෙහි ඉතා හොඳ වටපිටාවක් ඇත. එහෙත් මේ අසීමිත නිදහසින් හොඳ මෙන්ම නරකද ලැබීම විස්මයට කරැණක් නොවේ. ලොව ලාබලතම මව්පිය යුවළ බිහිවූයේද එංගලන්තයෙනි. කොයිදේ වුවත් මොළය කල්පනාවෙන් නොකළොත් සිදුවන විපාකනනම් මෙයයි.

මෙහි කවුරැන් හෝ තමන්ගේ රැකියාව ප්රසිද්ධියේ කීමට මැලි නොවෙති. මම කම්කරැවකු එහෙමත් නැතිනම් පෙදරේරැවකු කියා ඔවුන් පවසන්නේ ආඩම්බරයෙනි. එමෙන්ම ඔවුන්ටත් වාහනයක් පවිච්චිකරමින් දොස්තරයෙකු,ඉංජිනේරැවකු හෝ ඉහල විධායක නිලතල දරන්නකු මෙන්ම සැපවත් දිවියක් ගත කළ හැක. 

මේ රටේ පවත්නා නොයෙකුත් බදු නිසා මුදලක් ඉතුරැකිරීමට අපහසු වුවත් ලැබෙන පඩිය නැණවත්ව වියදම් කළහොත් හොඳ සැපවත් දිවියක් පහසුවෙන් ළඟාකරගැනීමට දොරටු විවරව ඇත.

රජය සියට දෙසීයක පමණ බදු මුදක් ඉන්ධන, ගුවන් තොටුපළ ගාස්තු වැනි දේ වලින් අයකර ගනී. 

ඉන්පසු ආදයම් බදු,වාහන බදු, වාහන යෝග්යතා සඳහා ගාස්තු වරිපනම් ගාස්තු ආදී නොගෙවා බැරිම දේ ජනයාගෙන් ලබා ගනී.

එහෙත් වාහන පද්ධතිය හා දුම්රිය සේවය ඉතාමත්ම ඉහළය. බස් හා දුම්රිය බොහෝ විට තප්පරයටම නිවැරදි වෙලාවට ධාවනය වේ. 

හදිසි අනතුරකදී පොලීසිය, ගිනිනිවන හමුදාව, ගිලන් රථ තප්පරයෙන් එතනය.

මේ රටේ ඡන්දය පවත්වන ආකරයත් හරිම අපූරැය. ඡන්දයට ඉදිරිපත්වන්නන් තාප්ප බිත්ති වනසමින් පෝස්ටර් නොගසති. වේදිකාවල ගිරිය පුප්පා කෑ නොගසති. තම ප්රතිඵත්ති මාලාව තැපෑලෙන් ඡන්ද දායකයන්ට යැවේ. විද්යුත් මාද්යතුළින් ජනතාවට කරැනු පැහැදිලි කෙරේ. වාද විවාද කෙරේ. ඡන්දය දවස වෙනදටත් වඩා සාමකාමීය. පොලිසිය අහලකවත් නැත. ඡන්ද පොළ කියා ඊතලයකින් පෙන්වන පාසලට හෝ දේවස්ථානයට මිනිසුන් එකා දෙන්නා ගොඩවී තම ඡන්දය පාවිච්චි කර නිවෙස් කරා ඇදෙති. මහජන මුදල් නාස්තියක් මිනී මැරැම් ගිනි තැබීම් බෙහෙතකට නැත.

අධ්යපනය හා සෞඛ්ය සේවය ඉතාමත්ම ඉහළය.

අපේ රටට මොවුන්ගෙන් උගතහැකි පාඩම් නම් රාශියකි. එහෙත් ඒ හොඳදේ වෙනුවට මේ රටේ වැරදිදේම අප බදා වැළඳ ගැනීම අපේ අවසානාවය. මේ රටින්ම අධ්යාපනය ලැබු අපේ රටේ පාලකයන් මේ රටේ බොහෝ ඇති හොඳ පුරැදු හා ක්රමවේද ලංකාවේ ක්රියාත්මක නොකිරීම අපේම නොලැබීමය.

චන්දන ගුණසේකර එක්සත් රාජධනියේ සිට........ 


Thursday, 30 October 2014

කන්ද උඹ සතුටින්ද.....??






ඉපැඳුණුදා පටන් අප ළඟ සිටිකන්ද
හැම උදයකම මිහිඳුම් සළු ඇඳිකන්ද
මළ හිරු සමඟ අඳුරේ සැඟැවුණුකන්ද
අප සෝ සුසුම් හැමවිට ඉසිලුවකන්ද
   
ඇළ දොළ දිගේ නුඹෙ කඳලැලි එවුකන්ද
ගොවිතැන් බලා නිරතුරු තුටුවුණුකන්ද
අපි ඇදවැටෙද්දී නැඟිටං හිටිකන්ද
නින්දට ගියෙත් නුඹහට වැඳලයිකන්ද
   
කවුරුද නුඹට කේලම් කීවේකන්ද
හොඳටම උරණවී ගම යට කළකන්ද
නුඹහට හිතැති අපසැම වැලලූකන්ද
නුඹ සතුටින්ද දැන්වත් කියපංකන්ද
   

Tuesday, 28 October 2014

හරුන් කුමාර් ලන්ත්‍රා මහතාගේ අද දවස... හෙට...??

ඔබ සැම ආදරය කළ  රටක් තම හඬින් කුල්මත් කළ  සොඳුරු ගායකයාහරුන් කුමාර් 
ලන්ත්රා අද දවසේ ගතකරන ජීවිතය.
දස දහස් ගණනක් රසිකයින් පිරිවරා සිටි ඔහු ළඟ නැති බැරිදා ඇත්තේ මෙතුවක්කල් 

දුක සැප බෙදා ගත් ආදරණීය බිරින්ඳෑ පමණකි.













එතුමාගෙන්
සැනසුණු අපේ මිනිසුන් නැතිබැරිදා එතුමාට සලකනු වෙනුවට
 ඔවුනවකබලෙන් ලිපටම ඇද දමා ඔවුන් සතු මුදලක්ද පැහැරගෙන ගියේ මෑතකදීය.
මෙම පිංතූර මා වෙත එවන ලද්දේ මගේ ආරාධනය පිළිගෙන හරුන් මහතාව
බැලීමට ගිය මා හිතාදර සොයුරු ජයන්ත සුබසිංහයන් විසිනි
.
ඔහුට මගේ හදපිරි ප්රණාමය පුද කරමි


Friday, 24 October 2014

සුළං කුරැල්ලෝ.........


" සුළං කුරැල්ලෝ සෙමින් ඉගිල්ලී
මල් සුවඳකි අර ගෙන එන්නේ
ආදර උයනේ දොරටුව ඇරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ
සුළං කුරැල්ලෝ සෙමින් ඉගිල්ලී....."

දයාබර සොයුරැ සොයුරියනි, හැටේ/ හැත්තෑවේ දශකයේදී සුව හසක් රසික රසිකාවියන් අමන්දානන්දයට පත් කළ මේ ගීතය ඔබත් අසා රස විඳ ඇතුවාට කිසිදු සැකයක් නැත. 

එමෙන්ම මගෙ නාමලී, හංසරානී ආදරේ... වැනි ගීතත් ඔබගේ හදවතේ ලැගුම් ගෙන ඇති.

මේ අමරණීය ගීත ඇතුළු තව ගීත රාශියක් රටට තිළිණ කළ ඒ අසහාය ගායකයා හරැන් ලන්ත්රා දැන් කොහේද ඔහුට කුමක් සිදුවී ඇතිද කියා අපට මොහොතකටවත් සිතුණිද?

මීට දින කිහිපයකට පෙර මුහුණ පොතින් හඳුනාගත් යහළුවකු විසින් එක්තරා වීඩියෝ පටයක් මා වෙත එවා එය අවසානය තෙක් නරඹන ලෙස ඉල්ලා සිටියා. 

ඔහුගේ ඉල්ලීම අනුවයි මා එය නැරඹීමට පටන්  ගත්තේ. ඒ හද කම්පා කරන දසුන් දුටු මට මේ සිදුවී ඇත්තේ කුමක්දැයි අදහාගන්නට නොහැකි වුණා. මගේ හද ගැස්ම මොහොතකට නතරවූ ලෙසයි මට දැනුණේ.

සුළං කුරැල්ලෝ, හංසරානි,මගේ නාමලී නම්වූ අමරණීය ගීතයන් ගයමින් රටක් නැළවූ ඔහුමද ඒ?

බොහෝ වයෝවෘර්ධව, හුදෙකලාවී කතාකරගන්නට පවා නොහැකිව ඉතාමත්ම අසරණවූ ඔහු දෙස මා කෙසේ නම් බලන්නද? 

කොණ්ඩය හා රැවුල වැවී මුහුණ හා  ඇඟපත වැහැරී ජරා ජීර්ණ වූ ඇඳකබලක ඔහු වාඩිවී සිටියා. පකිස් පෙට්ටියක් වන් කුඩා කුටියේ දෑස් ගිලී ගිය ඔහු අනන්තය දෙස බලා සිටියේ කිසිම හැඟීමකින් තොරව.

වීඩියෝ පටය අවසානයේ ඔහු කැමරාව දෙස බලා පෑ අව්යාජ අවිහිංසක ඒ සිනහව මම කෙසේ නම් අමතක කරන්නද?

මේ අවස්ථාවේ එම වීඩියෝ පටය නිමවා අපව දැනුවත් කළ ඒ උත්තම පුද්ගලයන්ට මගේ හෘදයාංගම ප්රණාමය පුදකරන්නේ හිතේ තෙරපෙන දුක් දෝමනස්සය මොහොතකට සඟවා ගෙනයි.

අප කුමක් කරමුද? ජීවිතයේ හැටි ඔහොම තමයි කියා සිත රවටාගෙන නිහඬ වෙමුද? 

ලෙයින් මසින් හැදී මව් කිරිබී වැඩුණු අපට එසේ කළ හැකිද?

බොහෝ කලා කරැවන්ගේ අවසානය මෙසේ ඛේදනීයව නිමවූ බැව් මම දනිමි. රටක් හිනැස්සූ ෆෙඩී සිල්වා හා රටම ආදරය කළ අසහාය නළු ජෝ අබේවික්රම මහතා ඔවුන්ගෙන් දෙදෙනෙකු පමණි.

ඇති හැකි කාලයේ , කීර්තියෙන් ඔවුන් වැජබුණු යුගයේ ඔවුන් සමඟ සිටි සුවහසක් ජන කැල ඔවුන් අසරණවූ කල දකින්නටවත් සිටියාද? 

මෙවන් කලා කරැවන්ට ඒ ඒ වැඩට පුළුවන් කාලයේ ලැබෙන මුදලට අමතරව හරිහමන් විශ්රාම වැටුපක් ලබා දෙන ක්රමවත් වැඩපිළිවෙළක් ක්රියාත්මක වේදැයි මම නොදනිමි. එසේ වූවානම් හරැන් ලන්ත්රා වැන්නන්ට මේ ඛේදනීය ඉරණම අත්වන්නේ නැත.

මේ සංසාර චක්රයේ සැරිසරන අපගේ ජීවිතවලට ඉදිරියේදී කුමක් සිදුවේදැයි අප කිසිවෙකුත් නොදන්නෙමු. කුමන ලෙඩ දුකක් ඇතිවේද මහ මඟ මිය පරලොව යාද ? කියත නම් හැක්කේ කාටද?

එමනිසා දයාබර සොයුරැ සොයුරිය මේ අවස්ථාවේ "අහෝ ජීවිතය " යැයි කියමින් කම්පා වෙමින් නොසිට අපව කලකදී ගීතයෙන් නැළවූ ඒ ගායකයාණන් හරැන ලන්ත්රා මහතාට යම්කිසි පිළිසරණක් වීමට උත්සහා කරමු.

ඒ සඳහා වැඩපිළිවෙළක් කරගෙන යන අතර ඔබගේ ශක්ති ප්රමාණයෙන් එයට දායක වෙතැයි මා හුදෙක්ම බලාපොරොත්තු වෙමි. අප සියල්ල ලබාදෙන පුංචි ආධාර එකතුවූ විට අපට එතුමාට විශාල සහයෝගයක් ලබා දිය හැකි බව මගේ විශ්වාසයයි. 

කලාවේ නාමයෙන් කරන්නාවූ මේ සත්ක්රියාව අප මිය යන මොහොතේ හෝ අපේ සිතට සහනයක් ගෙන ඒවි.

ගිණුම් අංක ආදිය සොයාගත් පසු ඔබට ඒ පිළිබඳ සියලු විස්තර දැනුම් දෙන්නම්.

එතෙක් ඔබට ආයුබෝවන්!

සැමටම ජය හා සතුට! 

Friday, 17 October 2014

ප්‍රේමකීර්ති නැවත කියවමු


අපේ සිත්වල ස්වභාවයත් හරියට අහස වගේ. මේ ලස්සනට දීප්තිමත්ව නිල්පාටින් බැබළෙමින් හිරැත් එක්කලා සිනහවෙමින් ඉන්න අහසමයි ඊළඟ නිමේෂයේ මහා බියකරැ වැහි වලාකුළු මවලා ඉර මුවා කරලා පළාතම අඳුරැ කරන්නේ.

ඒ වගේ තමයි සමහර දිනක සතුටින් පිරිලා තියෙන අපේ හිත ඊළඟ මොහොතේ එහෙමත් නැතිනම් ඊළඟ දවසේ මහා මොකක්දෝ පාළුවක්,තනිකමක් හෝ දුකකින් වෙළෙන්නේ. සමහර වෙලාවට අපට එයට හේතුවක් හෝ එය ඇතිවූ වෙලාවක් හෝ සොයා ගන්න බැරිවෙනවා.

පහුගිය දිනකිහිපයේ මගේ සිතත් මොකක්දෝ පාළුවකින් හා දුකකින් වෙලී ඇතිබව මට හැඟුණා. මගේ බිරිඳ හා දරැවෝ ලස්සනට පායපු ඉර වගේ මගේ සිත් අහස ලස්සන කළා. ඒත් ඒ ඉර පායලා තියෙද්දිම කොහෙන්දෝ පාත්වූ වැහි වලාවක් මගේ සිත අඳුරැ කළා.

මම දස අතේ කල්පනා කළත් මෙයට හේතුව නම් සිතේ අහලකටවත් ආවේ නෑ. ඒත් අන්තිමේදි සිතට වඳ දුන් ඒ හේතුව අහම්බෙන් වගේ මගේ සිහියට නැගුණා.

ඒ තමයි පහුගිය දවස් ටිකේම කියවලා ඊයේ අහවර කළ පොත. ඒ මම බොහෝම ආදරය කළ දැනටත් ඒ ලෙසම ආදරය කරන සංවේදී කලා කරැවකුගේ චරිතාපදානය. ඒ වෙන කවුරැවත් නොවේ රටක් ආදරය කළ රටක් තම හැකියාවෙන් සැනැහූ රටේම අභාග්යයට අපට අහිමි කළ ප්රේමකීර්ති ද අල්විස් සූරීන්.

පොතේ නම "සසර සැරිසරන තෙක් ප්රේමකීර්ති නැවත කියවමු"

ගීතනාත් කුඩලිගමයන් විසින් සම්පාදිත මෙම කෘතිය මගේ සිතට මෙතරම් පෙරළියක් කරතැයි මම කිසිවිටෙකවත් සිතා නොසිටියෙමි.

පොත කියවා ආතුරවූ මගේ සිතේ ඇතිවූ පීඩනය ලිහිල් කරගෙන යම් සැනසීමක් ලැබීමට මේ සටහන අකුරැ කරනවා විනා මගේ හැගීම් නතර කිරීමට මේ පොත සමත්විය. ඇතිවූ හැගීම දුකක්ද, පසුතැවීමක්ද ඊටත් වඩා වෙනයම් හැගීමක්ද යනවග පසක් කරගැනුමට මම මේ මොහොතේදීත් වෙහෙසෙමි.

මම මෙලෙස පටන් ගන්නම්. සුභාවිත ගීතයට ළැඳි මගේ මස්සිනාලා හෝ වෙනත් යහළුවකු සමඟ මධුවිතින් සැනැහුණු එකදු සැන්දෑවක් හෝ එතුමා ගැන කථාවකින්,ගුණ වැයුමකින් හෝ නැතිවූ පාඩුව ගැන දුක්වීමකින් තොරව ගෙවුණා යැයි මට සැක සහිතය. අප එතරම්ම එතුමන්ගේ ගීත සාහිත්යට හා සංනිවේදන කලාවට ප්රිය කළෙමු.

එතුමා පිළිබඳ අතන මෙතන තිබූ විස්තරත් එතුමා සමඟ වැඩකළ හා සමීපව ඇසුරැ කළ වික්ටර් රත්නායකයන් වැනි කලා කරැවන් කළ ප්රකාශත් හැරැනු කොට එතුමා ගැන පැහැදිලි සම්පූර්ණ විස්තරයක් මා මෙතුවක් කලකට කියවා නොතිබිණි. ඒ විස්තර දැනගැනීමේ දොළදුකකින් මා බොහෝ කලක් තැවුණෙමි.

එතුමා කුරිරැ ලෙස ඝාතනය කොට විසිපස් වසක් සපිරි පසුගිය ඇසළ මාසයේ එතුමා පිළිබඳ මේ පොත නිකුත් විය.

එතුමා පිළිබඳ බොහෝදේ මේ පොතෙහි අඩංගුය. උපතේ පටන් ඝාතනය දක්වා කළ කී දෑ, ඇසුරැ කළ අය බිරින්දෑ හා දරැවන් ගැන මෙහි සම්පූර්ණයෙන්ම විස්තර කොට ඇත.

එතුමාගේ පළමු බිරිඳවූ දයා ද අල්විස් මහත්මියගේ සටහන් මගේ හදවත නතර කිරීමට සමත් විය. ඉතාමත් සංවේදීව හා අවංකව පෙළ ගස්සවා තිබූ ඇයගේ සටහන් කියැවූ මට මහත් දුකක් ඇතිවිය.

මෙතරම් සංවේදී මිනිසෙකුට මෙවැනි ආදරණීය දෑ ලියූ මිනිසෙකුට මෙසේ වෙනස් විය හැකිද? මෙසේ හැසිරිය හැකිද? වරක් ඔහු ඇය හා තමන්ගේ ලෙයින් හැඳුණු අසනීපයෙන් සිටි දුවව රාත්රියේ ගෙදරින් එළියට දමා දොර වැසීමට තරම් සාහසික විය.

එය කෙසේ නම් සිදුවිය හැකිද? දයා මහත්මියම පවසන ආකාරයට ඒ හැසිරී තිබුණේ ඔහු නොවේ ඔහු තුළ ක්රියාත්මකවූ මත් පැන් රකුසාය. මට මහා කණගාටුවක් දැනිණි. ලොවක් සැනහූ දැයක් නැලැවූ ඔහුගේ කුටුම්බය ගිනි ගොඩක් වූ හැටි?

මෙය කර්මය හෝ ලබා උපන් හැටියැයි කියා අපට හිත හදාගත හැකිද? ඔළුවට මහා බරකි.

ඇයට අසීමිතව ආදරය කළ ඔහු විසින්ම ඇයව සැක කරන ලදී. බහින්බස්වීම් හා අඩදබර දෙදෙනා වෙන්වන තැනටම වැඩ සිද්ධ කරන ලදී. ඒ සඳහා උල්පන්දම් දුන් හා ඔවුන්ගේ විනාශය පැතූ බොහෝ දෙනෙකු එවිට සතුටුවන්නට ඇත.

මොනදේ සිදුවූවත් දයා ද අල්විස් මහත්මිය ප්රේමකීර්තීන් පිළිබඳ අඹමල් රේණුවක තරමින්වත් අහිතකින් හෝ තරහකින් සිටින බවක් මේ සටහන් වලින් නොපෙනුණි. ඒත් මේ සිදුවීම් නිසා මා සිත ඇතිවූ කනගාටුව පහව නොගියේ මා එතුමාට අවංකවම ප්රිය කළ නිසායැයි මට හැගේ.

ඉන්පසුව එතුමා විවාහ වූ නිර්මලා ද අල්විස් මහත්මියගේ සටහන්ද පළමු විවාහයේ දියණිය සුරංගී හා දෙවැනි විවාහයේ පුතුගේ සටහන්ද මගේ දුක හා පසුතැවිල්ල වැඩි කළා මිස අඩු නොකෙරැණි.

එතුමාගේ ගුරැවරැ,මිතුරන් හා එකට වැඩ කළ කලා කරැවන්ද පැවසුවේ එතුමාගේ මානුෂික ගුණ හා තිබුණු අසාමාන්ය හැකියාව ගැනය.

ඔවුන් සැවොම කියන්නාක් මෙන් එතුමා වයස අවුරැදු 42 වැනි අඩු වයසකින් වියෝ වූවත් වයස 84කදී පවා යමෙකුට කල නොහැකි සේවාවක් කලාවට කල බැව් මගේද හැගීමයි.

මේ පොත කියවන තුරැම සැමවිටම මම එතුමාගේ අකල් වියෝව පිළිබඳව දුක් වුණෙමි. දැන් හිටියානම් තව තව කෙතරම් නම් නිර්මාණ ගොන්නක් කල හැකිව තිබුණාදැයි සිතුවෙමි. ඒත් මම දැන් එසේ නොසිතමි. එතුමා කල්ප කාලාන්තරයක් තිස්සේ පෙරැම් පුරමින් එක්රැස් කළ දැනුම් සම්භාරය අපට දී අවසානය. එතුමා මේ ලෝකයට පැමිණි කාරණය ඉෂ්ට කොට අවසානයේ මේ ලොවින් නික්ම ගියේය. මා දැන් මෙසේ සිතා සැනසෙමි.

ඒත් එවැනි සමාජයට වැඩදායී පුද්ගලයන්ගේ ජීවිත මෙසේ විනාශවූයේ ඇයි හා ඔවුන්ගේ පවුල් දිවිය අවුල්වූයේ ඇයි යන ප්රශ්න මගේ සිතේ දෝංකාර දෙමින් මා සිත කම්පනය කිරීමනම් තවමත් අඩුවී නොමැත.

අවසානයේ මම මෙසේ කියමි...

දයාබර ප්රේම් ඉක්මනින්ම නිවන් නොදැක නැවත අප අතර ඉපදී අප සනසවනු මැනවි....!

එහෙත් මෙය මහා ආත්මාර්ථකාමී පැතුමක් බව මම දනිමි. එහෙත් මගේ හිත හදා ගැනුමට වෙන විකල්පයක් නැත. කල හැකි වෙන දෙයක් නැත.

ඔබත් ඉඩක් ලදවිට මේ පොත කියවන්න. එය අපගේ දයබර ප්රේම්ට කරන්නාවූ උපහාරයක්ම වේවි.


Sunday, 12 October 2014

අම්මේ.......



කුරිරැ ලෝකෙන් ලබද්දී ගැරහුම්
අම්මේ ඔබේ වත සඳක් සේ පිරිපුන්
හිතේ දුක් ගිනි නිවා සනහයි
විහිදුවා මුදු කිරණ මනරම්....

සිතට තනිකම දැනුණු මොහොතක
ඔබෙ මුවින් දෙඩු එකම වදනක්
සියලු සංකා පලා යැව්වේ 
කෙලෙසදෝ අම්මේ....
කියනු මැන අම්මේ.....

ඔබ දසුන මගෙ ළඟ නොමැතිමුත් 
දෑස් වසනා හැම නිමේෂයෙ
පවන් රොද වී හමා ආවේ
වෙන කවුද අම්මේ....
ඔබමමයි අම්මේ.....

-චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය

Wednesday, 1 October 2014

ලෝක ළමා දිනය....



මල් කැකුළු බිම දමා
පොඩි කරන කාලයේ
පෙති කඩා ඉහිරැවා
වින කරන ලෝකයේ

ළමා දින සැමැරැමේ
ශාලාව සැරසුමට
සොයා ගත හැකි වුණේ
ඉටි මල්ම පමණකී.....